මීරිගම-කුරුණෑගල ඉදිකිරීම් මේ වසරේ අවසන්

මාර් 22, 2019

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් 65%කින් අවසන් බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    එය වාහන ගමනාගමනය සඳහා විවෘත කෙරෙන්නේ, මේ වසර අවසානයේ දී. ව්‍යාපෘතිය සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 989ක සහනදායී ණය මුදලක් සැලයීමට චීනය එකඟ වී තිබේ.

    කඩවත දී කොළඹ පිටත වටරවුම මාර්ගයට සම්බන්ධ වන මධ්‍යම අධිවේගී මාර්ගය මුල් අදියර යටතේ ගලගෙදර හා දඹුල්ල දක්වා ඉදි කෙරේ. දැනට එහි ඉදිකිරීම් වැඩි ප්‍රමාණයක් අවසන් වී ඇත්තේ කුරුණෑගල සිට මීරිගම දක්වා වන දෙවැනි කොටසේයි. කිලෝ මීටර 40ක දුරකින් යුත් මාර්ගයේ කිලෝ මීටර 10ක් පමණ ඉඳිවන්නේ කොන්ක්‍රිට් කණු මතයි.

    විශාල ප්‍රමාණයේ පාලම් 12ක්, බෝක්කු 130ක් සහ ඉහළින් සහ පහළින් ගමන් කරන ස්ථාන 42ක් එම කොටසට අයත්. දේශීය කොන්ත්‍රාත්කරුවන් සිදු කරන මෙම ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 160ක්. චීනය ව්‍යාපෘතියට සපයන අමෙරිකානු ඩොලර් මිලියන 989 සහනදායී ණය මුදලට අදාළ ගිවිසුම අද අත්සන් තැබිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා ඊට අත්සන් තැබූහ. චීන අපනයන-ආනයන බැංකුව නියෝජනය කළේ මෙරට තානාපති චෙන්ග් ෂුයුආන් මහතායි.

    නාගරික ප්‍රදේශ මඟ හරිමින් මුඩු ඉඩම් හරහා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පාරිසරික හා සමාජයීය බලපෑම අවම කිරීම සඳහා සුවිශේෂී පියවර ගෙන තිබේ. මාර්ගයේ දෙවැනි කොටසේ ස්වයංක්‍රීයව මුදල් අය කරන කවුලු සහිත අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉඳි කෙරෙනු ඇත.

    ඒ, මීරිගම, නකලගමුව, දම්බොක්ක හා කුරුණෑගල යන ස්ථානවලයි. සම්පුර්ණ මාර්ගයේ ඉදිකිරීම් අවසන් වීමට නියමිතව ඇත්තේ, ලබන වසරේ. එහෙත් ඊට පෙර ඒ-6 මාර්ගය මධ්‍යම අධිවේගී මාර්ගය හරහා නිට්ටඹුවට සම්බන්ධ කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ අභිප්‍රායයි.

    Latest News