සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා

මාර් 28, 2023

    අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවමංගල්‍ය ලබන සෙනසුරාදා සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.

    මිය යන විට ඒ මහතා පසුවූයේ 81 වැනි වියේ. 1942 පෙබරවාරි 15 වැනිදින ගොතටුව ප්‍රදේශයේදී උපත ලද සනත් නන්දසිරි මහතා, ගොතටුව මහා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකින් මූලික අධ්‍යාපනය හදාරා තිබෙනවා. ඔහු සංගීතය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබුවේ, ඉන්දියාවෙන්.

    පාසල් ගුරුවරයෙකු හා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස සිය වෘත්තිය ජීවිතය සාර්ථකව නිම කළ සනත් නන්දසිරි මහතා, ‘මගේ රටට දළදා හිමි සරණයි’ – ‘මම නම් ආසයි අහන්න නයනා’ – ‘ලස්සන නම් නෑ පෙනෙ‍න්නේ’ – ‘ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ’ වැනි අතිශය ජනප්‍රිය වූ ගීත රැසක් මෙරට සංගීත ‍ක්‍ෂේත්‍රයට දායාද කළා. ඒ මහතා මෙරට, ඒක පුද්ගල ගීත ප්‍රසංග කලාවේ ද පුරෝගාමියෙකු ද වනවා.

    ශාස්ත්‍රීය සංගීතය හා සරල ගීතය පෝෂණය කිරීමෙහිලා ප්‍රමුඛතම කාර්ය භාරයක් ඉටු කළ සනත් නන්දසිරි මහතා, මෙරට කලා කෙත පෝෂණය කිරීමට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සමත් වූ කලාකරුවෙක්. අභාවප්‍රාප්ත සනත් නන්දසිරි මහතාගේ දේහය, හෙට උදේ 9.00 සිට අංක 10, පළමු පටුමග, පරණ කැස්බෑව පාර, නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබෙනවා.

    සෙනසුරාදා උදේ 9.00 ට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට රැ‍ගෙන යන දේහය, අනතුරුව, අවසන් ගෞරවය සඳහා ගුවන් විදුලි සංස්ථාවට ද රැගෙන යාමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 28 මාර්තු 2023 18:11

    Latest News