දකුණේ වනාන්තර විනාශ කලේ දේශපාලකයින්..... ජනපති

මාර් 21, 2019

    වනාන්තර, ගස, කොළ, සතා සීපාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැඳි සිටින බව ජනාධිපතිතුමා පවසයි. අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ප‍්‍රකාශ කළේ අද (21) පෙරවරුවේ දිඹුලාගල, වෙහෙරගල මහා විද්‍යාලයේ පැවති ජගත් වනාන්තර දින සැමරුම් උත්සවය අමතමිනි.

    රට තුළ දැනට පවත්නා වන ඝනත්වය ආරක්ෂා කර ගැනීමට සියලූදෙනා එක්ව කැප නොවුණහොත් තවත් වසර 15 ක් ගත වන විට වනාන්තරය අහිමි වී වන බව ඔහු කියා සිටියේය. රටේ ඉතිරිව ඇති සියයට 28 ක වන ඝනත්වයෙන් වැඩි ප‍්‍රමාණයක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේ වන අතර එම ප‍්‍රදේශවල පැවති එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය හේතුවෙන් එම වනාන්තර ආරක්ෂා වූ බවත්, යුද්ධය නොමැති අනෙක් ප‍්‍රදේශවල වන පද්ධතිය දේශපාලනඥයන් සහ ජාවාරම්කරුවන් එක්ව විනාශකර දමා ඇති බවත් ජනාධිපතිතුමා පෙන්වා දුනී.

    රජය ඉදිරි වසර 03 තුළ දී ඉටුකර ගැනීමට අපේක්ෂා කරන රටේ වන ඝනත්වය සියයට 32 ක් දක්වා ඉහළ නංවා ගැනීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට නම් හෙක්ටයාර් එක්ලක්ෂ හතළිස් අටදහසක් අලූතින් වැවිය යුතු අතර, එහි දී වසරකට හෙක්ටයාර් පහළොස් දහසක් වැවිය යුතුව ඇති බවත් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, පාසල් දරුවන් ඇතුළු සියලූ පුරවැසියන් එක්විය යුතු බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය. කුඩා පාසල් දරුවන් උත්සව සහ වැඩසටහන්වලට සහභාගීකරවීමේ දී ඔවුන් පත්වන අසීරුතාව පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ පාසල් දරුවන් සහභාගි කරවිය යුතුම උත්සව සහ වැඩසටහන් සඳහා එම දරුවන් සහභාගී කරවීමේ දී අට වසරෙන් හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරන දරුවන් හැර කුඩා දරුවන් ගෙන්වීමෙන් වළකින ලෙසයි.

    අද පෙරවරුවේ දිඹුලාගල වෙහෙරගල මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත්තේය. විද්‍යාලයේ බුද්ධ මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමෙන් අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා වඩා හිතකර පරිසරයක් ලබාදෙමින් විද්‍යාලයේ සියලූ පංති කාමර ප‍්‍රතිසංස්කරණයට පියවර ගැනිණි.
    විද්‍යාල භූමියේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ජගත් වනාන්තර දින සැමරුම් උත්සවයට ජනාධිපතිතුමා එක් වූයේ ඉන් අනතුරුවයි. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ පාසල් 07කට පුස්තකාල පොත් කට්ටල ලබාදීම සහ සිසුන්ට අධ්‍යාපන ශිෂත්ව ලබාදීම, අඩුආදායම්ලාභී පවුල් සඳහා නිවාසාධාර ලබාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි. එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිට මියගිය හා ආබාධිත වූවන් වෙනුවෙන් සහ සිංහරාජ වනාන්තරයේ ජාන මංකොල්ලය වැටලීමට දායක වූ නිලධාරින් ඇගැයීමට ලක් කරමින් සහතික පත් සහ ප‍්‍රදානයන් සිදු කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ යන මහත්වරුන් සහ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    මේ අතර ,ළගම පාසල - හොදම පාසල, වැඩසටහන යටතේ දිඹුලාගල කාශ්‍යප විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ද අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

    එම විද්‍යාලය වෙත ද ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී. එහිදී විදුහල්පතිවරයා ජනාධිපතිතුමා වෙතින් කරන ලද ඉල්ලීම අනුව විද්‍යාලයේ ප‍්‍රධාන ශාලාව, කි‍්‍රඩාපිටිය සහ කී‍්‍රඩාගාරය ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාදීමට ද ජනාධිපතිතුමා එකඟතාවය පළ කළේය. කලාපයේ පාසල් කිහිපයක පුස්තකාල සදහා පොත් ප‍්‍රදානය කිරීම. දිඹුලාගල ප‍්‍රදේශයේ නිවාස නොමැති පවුල් 07 ක් සඳහා නිවාස හිමිකම් ලබාදීම ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙහිදී ද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     

     

     

    Latest News