ඝාතන 3ක ප්‍රධාන සැකකරුවන් දෙදෙනා STF වෙඩි පහරින් මරුට

නොවැ 18, 2022

    ඇල්පිටිය, ඌරගහ සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලදී තිදෙනෙකු වෙඩි තබා ඝානතනය කිරීමේ සිදුවීම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙනවා.

    පොලිසිය පවසන්නේ, ඔවුන් දෙදෙනා, විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඌරගහ ඉන්දික නමැත්තා‍ගේ සඟයින් බවයි.

    විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයට ලද තොරතුරකට අනුව,  මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේ නිවසක් අද අලුයම වටලා තිබෙනවා. ඒ, මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා එහි සැඟව සිටින බවට ලැබුණු තොරතුරු මතයි. එම අවස්ථාවේ සැකකරුවන් සතු ගිනි අවියකින් වෙඩිතැබීමක් සිදු කර ඇති අතර, පොලිස් විශේෂ බලකාය එල්ල කළ ප්‍රතිප්‍රහා‍රයෙන් සැකකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා තිබෙනවා. ඔවුන් මිනුවන්ගොඩ ‍‍රෝහලට ඇතුළත් කරන අතරතුර මි‍‍යගොස් ඇති බව, විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

    සැකකරුවන්, මිලාන් කෝසල සහ ගමගේ ඩිලූක නමැති ගාල්ල පෝද්දල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්. ඔවුන් රැඳී සිටි ස්ථානයේ තිබී ටී -56 වර්ගයේ ගිනි අවියක් හා බෝර 12 වර්ගයේ අවියක් සමග රම්බෝ පිහියක් නිලධාරීන් බාරයට ගෙන තිබෙනවා. ඌරගස්මං හන්දිය ප්‍රදේශයේ කොණ්ඩ කපන ස්ථා‍නයකදී, ඉකුත් අගෝස්තු 24 වැනිදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඔක්තෝබර් 19 වැනිදා යක්කලමුල්ල ප්‍රදේශයේදී සිව් හැවිරිදි දරුවෙකු සහ එම දරුවාගේ පියා වෙඩි තබා ඝාතනය යන සිදුවීම් දෙකෙහි ප්‍රධාන සැකකරුවන් මොවුන් බවයි, පොලිසිය පවසන්නේ. එම ඝාතන දෙකේම යතුරුපැදිකරු හා වෙඩික්කරු ලෙස මොවුන් දෙදෙනා ක්‍රියා කර තිබෙනවා. ඇති වූ වෙඩි හුවමාරුවේදී සුළු තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුළත් කෙරුණා.

    Latest News