මෙරට ගීත කෝකිලාවියට අදට 88 යි

නොවැ 11, 2022

    මෙරට ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය අද සමරන්නේ ඇයගේ 88 වැනි උපන්දිනයයි.

    ජාතික රූපවාහිනියේ අපි ඇයට සුබ උපන් දිනයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    1934 නොවැම්බර් 11 වැනිදා බම්බලපිටිය ධවලගිරි නිවසේදී එළිසබෙත් මියුරියල් සහ ජෝසප් ලීනස්ට දාව පවුලේ තෙවැනි දරුවා ලෙස මාතරගේ රීටා ජෙනරි ප්‍රනාන්දු උපත ලැබුවා. ඇය පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ගීතිකා නායිකාව ද වුණා. ලතා වල්පොල එවකට රේඩියෝ සිලෝන් යනුවෙන් හැඳින්වූ ගුවන් විදුලියට ළමා ගායිකාවක ලෙස පිවිසෙන්නේ වයස අවුරුදු 12 දී. 1947 ගුවන් විදුලියේ වින්සන් ද අල්විස් මහතාගේ ඇරයුම අනුව පළමු ගීතය වන කඳුලු දෙනෙතේ වෑහෙනා යන ගීය ඇය ගායනා කළා. එහි පද රචනය සරත් විමලවීරයන් කළ අතර, සංගීතය නිර්මාණය කළේ, වින්සන් ද අල්විස් විසින්. 1950 වසර වන විට ලතා මෙරට ප්‍රසිද්ධ ගායිකාවක බවට පත් වුණා. සිනමාවට ඇය පිවිසෙන්නේ 1952 වසරේදී. ඒ, 1953 තිරගතවූ එදා රෑ චිත්‍රපටයට පසුබිම් ගීතයක් ගායනා කරමින්.

    එහෙත්, ලතා ජනතාව අතර වඩාත් ආකර්ශනයට පාත්‍ර වූයේ 1953 වසරේ තිරගතවූ ප්‍රේම තරගය චිත්‍රපටයේන්. සිය අනාගත සැමියා වූ ධර්මදාස වල්පොල හමුවූයේද එම චිත්‍රපට පසුබිම් ගායනයේදී. නිත්‍ය ගායකයා වූ අරුණ ශාන්ති අසනීප වීම නිසා අහඹු ලෙස ඇයට ධර්මදාස වල්පොල සමග යුග ගීයක් ගැයීමට සිදු වුණා.

    ලාංකේය ගීත කෝකිලාවිය ලෙස ලතා කිරුළු පළඳිනු ඇතැයි මුල් යුගයේදී කවුරුත් නොසිතන්නට ඇති. 600 කට අධික චිත්‍රපට සංඛ්‍යාවකට ඇයගේ මියුරු කටහඬින් ගීත ගායනා කර තිබෙනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් සංදේශය චිත්‍රපටයට ඇය ගැයූ රැජින මමයි ගීතය අදටත් ඉතා ජනප්‍රියයි.

    ලතාගේ පසුබිම් ගායනයෙන් රංග ප්‍රතිභාව ඔපවත් කරගත් නිළියන් සංඛ්‍යාව 100 කට අධිකයි.

    සුසිල් ප්‍රේමරත්න මහතා ඇය භාරතයේ ගීත කෝකිලාවියට සම කරමින්, ඇයට ලබාදුන් නම ලතා නම් වුණා. හෙළ ගී කෙතට ලතා ප්‍රනාන්දු එක්වන්නේ මේ අනුවයි. ලතාගේ ගී ගුවන් විදුලියේ නිතර ප්‍රචාරය වන්නට වුණා. කරුණාරත්න අබේසේකර මහතා පළකළ අනාවැකිය වූයේ ලතා මෙරට ගීත කෝකිලාවිය වන බවයි.

    සරසවි සම්මාන සිව් වරක්ද, සිංහල සිනමාවට සිදු කළ සේවය වෙනුවෙන් එක් වරක් පිදෙන විශිෂ්ට සම්මානයකින්ද, 2005 කලා ශූරී සම්මානයෙන්ද, 2017 දේශමාන්‍ය සම්මානය හා දීපශිකා, ස්වර්ණ සංඛ, ස්වර්ණ හංස, ජනාධිපති සිනමා රිදී ජුබිලි ඇතුළු සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

    හෙට රාත්‍රී 9.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන 'සඳ රූ සුයාමය' වැඩසටහනේ ගීත ගායනා කරන්නේ, ලාංකේය ගීත කෝකිලාවිය කලා ශූරී ලතා වල්පොල මහත්මියයි.

    Latest News