ශ්‍රී ලංකාවට, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තවදුරටත් මානුෂීය ආධාර

නොවැ 09, 2022

    ආර්ථික අර්බුදයෙන් පීඩිත ලක්ෂ 34 ක ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි මානුෂීය සහන ලබාදීමේ ආයාචන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. 

    ශ්‍රී ලංකාවේ හදිසි ආධාර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 149.7 ක් රැස් කිරීම එක්සත් ජාතීන්ගේ අපේක්ෂාවයි.  ජගත් සංවිධානය සහ රාජ්‍ය නොවන සහන සේවා ආයතන කිහිපයක් එක්ව සිදු කළ ගෝලීය ආයාචනය ක්‍රියාත්මක වීම ඇරඹුණේ මේ වසරේ ජුනි මාසයේ සිටයි.  මේ දක්වා ඩොලර් මිලියන 79 ක හදිසි ආධාර ශ්‍රී ලංකාවට ලබාදී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. 

    තවත් ඩොලර් මිලියන 70 ක් මේ වසර අවසන් වන විට රැස් කිරීම ආධාර කණ්ඩායමේ අපේක්ෂාවයි.  අන්තර්ජාතික ප්‍රජාව මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන සහයෝගීතාව පිළිබඳව බෙහෙවින් කෘතඥ වන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රාජ්‍ය නොවන ආයතන එක්ව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මෙම ආධාර ශ්‍රී ලාංකීය ජන සමාජයේ වඩාත් අවදානමට ලක් වූ ජන කොටස් වෙත හදිසි ආහාර, ඖෂධ හා වෙනත් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙන් කෙරෙන බවයි, ජගත් සංවිධානය කියා සිටින්නේ. 

    මේ සඳහා පුද්ගලික සමාගම්වලින් ලැබුනු දායකත්වයද අගය කොට තිබෙනවා.  අර්බුදයෙන් බලපෑමට ලක් වූ ජන සංඛ්‍යාව පූර්ණ වශයෙන් ලක්ෂ 70 ක් පමණ වන බව සහන සේවා ආයතනවල තක්සේරුවයි. මේ අතර, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නැංවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක මුදලක් ලබා දීමට දකුණු කොරියාව පියවර ගෙන තිබෙනවා.  මේ මුදල් පිරිනමනු ලබන්නේ, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය යටතේ සිදු කෙරෙන ව්‍යාපෘතියක් සඳහායි.  එමගින් මෙරට ඉස්සන් වගාව සංවර්ධනය කිරීමට පියවර ගැණෙනවා. 

    මෙය, ඩොලර් මිලියන 3.9 ක මූල්‍ය ප්‍රතිපාදන යොදා ආහාර කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ප්‍රධාන ව්‍යාපෘතියක කොටසක්.  ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජෙයොං, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා යන මහත්වරුන්ගේ හා එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ව්‍යාපෘති ආරම්භ කෙරුණා.

    Latest News