එන්නත් ගෙන්වීමේදී කෝටි 7 කට ආසන්න වංචාවක්

නොවැ 09, 2022

    එන්නත් මිලදී ගැනීමේදී සිදුව ඇති බරපතල මූල්‍ය වංචාවක් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට විගනකාධිපති දෙපාර්තමේන්තුව නි‍ර්දේශ කර තිබෙනවා.

    විගනකාධිපති වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, රුපියල් ලක්ෂ 4 ක් වැය වන ව්‍යාපෘතියකට රුපියල් හය කෝටි අසූ හත් ලක්ෂයක් වියදම් කර ඇති බවයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් සිදු කළ විගණනයකදී, මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‍වෛද්‍ය සැපයුම් අංශය විසින් 2021 වර්ෂයේ අවශ්‍යතාව ලෙස හඳුනාගෙන තිබු පැපවරින් එච් සී එල් මිලිග්රෑම් 60  / මිලිලීටර 2 එන්නතින් ඒකක 1,560 ක් මිලදී ගෙන තිබුණේ, රුපියල් මිලියන 68 යි දශම 5 යි 9 ක මුදලකයි.

    මෙම ප්‍රසම්පාදනය සඳහා ඖෂධ නීතිගත සංස්ථාව සිදු කළ අන්තර් ජාතික විවෘත තරගකාරී ලංසු කැඳවීමට අනුව, ලංසු ඉදිරිපත් කර තිබුණේ, එක් තරගකරුවෙකු පමණයි. එන්නත් ඒකකයක ඇස්තමේන්තු මිල රුපියල් 255 යි සත 07 ක් වුවද, ඒකකයක් සඳහා ලංසුව රුපියල් 40,868 ක් වී තිබුණා. එවැනි තත්වයක් තුළ නැවත මිල ගණන් කැඳවිය යුතු වුවත්, එසේ කටයුතු නොකර දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් එන්නත් ඒකකයක් රුපියල් 40,868.98 බැගින් එන්නත් ඒකක 3,125 ක් මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.  

    ඒ, රුපියල් මිලියන 127.72 ක මුදලකටයි. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු තීරණයට අනුව, වාර්ෂික භාවිතය එන්නත් ඒකක 650 ක් බැවින් මුළු ඒකක එන්නත් ප්‍රමාණයෙන් 40% ක් හෙවත්, එන්නත් ඒකක 1,250 ක් සඳහා පමණක් ණයවර ලිපි විවෘත කළ යුතුව තිබුණත්, ප්‍රසම්පාදන කමිටු අනුමැතිය අභිබවා යමින් එන්නත් ඒකක 1,563 ක් සඳහා රුපියල් මිලියන 68.73 ක ණයවර ලිපි විවෘත කර තිබූ බව, විගණක වාර්තාව පෙන්වා දෙනවා.  

    2021 ජූලි 18 දින මිලදී ගෙන තිබූ එන්නත් ඒකක 1,560 න් එන්නත් ඒකක 1,421 ක් 2022 අගෝස්තු 20 දින වන විටත් ඉතිරි වී තිබුණා. එම එන්නත් 2023 පෙබරවාරි මාසයේදී කල් ඉකුත් වීමටද නියමිත බවයි, වාර්තාවෙන් වැඩි දුරටත් හෙළිදරව් කර ඇත්තේ. කොන්ත්‍රාත් ගිවිසුම 1987 අංක 03 දරණ පොදු කොන්ත්‍රාත් ගිවිසුම් පනත යටතේ ලියාපදිංචි කර, ලියාපදිංචි සහතිකය ඖෂධ නීති ගත සංස්ථාව වෙත ලබා ගැනීමට කටයුතු කර නැහැ.

    තාක්ෂණික ඇගයීම් කමිටු පත් කිරීමේදී ද සංස්ථාව නිසි ක්‍රමවේදය අනුගමනය කර නැහැ. විගණක වාර්තාවට අනුව, ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත ඇස්තමේන්තු කළ මිලට හෝ ඒ ආසන්න මිලකට මිලදී ගන්නේනම්, වැය වන්නේ, රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක්. එහෙත්, ඖෂධ නීතිගත සංස්ථාව එන්නත සඳහා රුපියල් 6 කෝටි 87 ලක්ෂයක මුදලක් වැය කර තිබෙනවා.   

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාජ්‍ය ඖෂධ නීති ගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ මහතා කියා සිටියේ, මෙම ගනුදෙනුව තමාගේ නිල කාලයට පෙර සිදු වූවක් බවයි. මේ සඳහා එවක සිටි ජාතික වෛද්‍ය ‍නියාමන අධිකාරියේ ප්‍රධානීන් වගකිව යුතු බව ඔහු කියා සිටියා. ටෙන්ඩරයක් ලියාපදිංචි කරන විට, අධිකාරිය විසින් මිලක් නියම කරනු ලබනවා.

    2015 දී ඩොලර් 1 යි දශම ගණනකට තිබූ එන්නත් ඒකකයක මිල 2021 වන විට ඩොලර් 200 දක්වා ඉහළ යාම නිසා මේ තත්වය ඇති වී තිබෙන බව, පෙන්වා දෙන සභාපතිවරයා  කියා සිටියේ, එවැනි මිලක් අධිකාරිය විසින් නියම කළේ ඇයි ද යන්න මෙහිදී මතුවන ගැටලුව බවයි.  මෙහිදී ටෙන්ඩර් මණ්ඩලයට ද කළ හැකි දෙයක් නොමැති බව, ඔහු පෙන්වා දුන්නා.  එමෙන්ම මේ සම්බන්ධයෙන් ලියාපදිංචි වී ඇත්තේ, එකම ලියාපදිංචි සැපයුම්කරුවෙකු පමණක් වන අතර, එවැනි ඒකාධිකාරයක් තිබීම සම්බන්ධයෙන් ද අධිකාරිය වගකිව යුතු බව, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

    මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසන්නේ, විගණක වාර්තාව පිළිබඳව, මාධ්‍ය වාර්තාවල සඳහන් ඇතැම් තොරතුරු සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවයි. 2015 වර්ෂයේදී එන්නත සඳහා ඇස්තමේන්තු ගත මුදල තීරණය කරනු ලැබූ අතර, මිලදී ගැනීම සිදු කර ඇත්තේ, 2021 වසරේදී බවද සැපයුම් අංශය කියා සිටියා.  

    Latest News