කොරියාවේ හලොවීන් ඛේදවාචකයේ බොඳවූ ලාංකික සිහිනය

ඔක් 31, 2022

    දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති හැලොවීන් උත්සවයක් අතරතුර දී තෙරපීමෙන් මිය ගිය පුද්ගලයන් 153 දෙනා අතර ශ්‍රී ලාංකිකයකු ද වනවා.

    මෙසේ මියගොස් ඇත්තේ මහනුවර, පාතදුම්බර, උඩතලවින්න පදිංචිව සිටි මුනව්වර් මුහම්මඩ් ජිනාත් නමැති 27 හැවිරිදි තරුණයෙක් බවට හඳුනාගෙන තිබේ.

    වසර දෙකක කාලයක් කොරියාවේ රැකියාවක නිරතව සිට තිබෙන ඔහු මීට මාස දෙකකට පමණ ඉහතදී මෙරටට පැමිණ විවාහ වී යළි විදේශගතව තිබෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

    ඔහු අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

    මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශය ඒ මොහොතේම දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් හා සම්බන්ධ වී මේ පිළිබඳ කරුණු සොයා තිබේ.

    මියගිය ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් සිදු කරන නීතිමය කටයුතු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    එම තරුණයාගේ මෘත දේහය ශ්‍රී ලංකාවට රැගෙන එනවා ද එසේ නොමැති නම් එරට දී අවසන් කටයුතු සිදු කරනවා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඔහුගේ පවුලේ ඥාතීන්ගේ අවශ්‍යතාවය මත එය සිදු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    සිද්ධියෙන් තවත් ශ්‍රී ලාංකිකයින්ට අනතුරක් සිදුව තිබේ දැයි සොයා බැලීම සඳහා දකුණු කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින අතර, එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බව ද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 11:33

    Latest News