මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක්...

ඔක් 30, 2022

    මේ වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව වර් ධනය වූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

    ඉන් වැඩිම සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 86,625ක්. මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණෙන් ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංක සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ආරම්භ කොට තිබෙනවා. එහිදී ප්‍රමුඛස්ථානය හිමිවන්නේ, වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන රටවලටයි.

    ඒ යටතේ ඉන්දීය ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඔවුන් දින 06ක් දිවයිනේ රැඳී සිටින අතර, මෙරට පුරාවිද්‍යාත්මක ස්ථාන, සිද්ධස්ථාන, ආකර්ශනීය ස්ථාන හා වනෝද්‍යාන ඇතුළු ස්ථාන කිහිපයක සංචාරය කරනු ඇති. ඒ අනුව, හබරණ, සීගිරිය, දඹුල්ල ලෙන් විහාරය, ශ්‍රී දළදා මාලිගාව, පේරාදෙණිය උද්භිත උද්‍යානය, නුවරඑළිය, බදුල්ල සහ ඇල්ල යන ස්ථානවල ඔවුන්ට අත්දැකීම් ලබාගැනීමට ඉඩ සලසා තිබෙනවා. මෙම මාධ්‍යවේදීන් පිරිසට ඉන්දියාව සහ නේපාලය යන රටවල ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් පිරිසක් ඇතුලත්.

    සය දින සංචාරය ඊ‍යේ ආරම්භ කරනු ලැබුවේ, කොටහේන ජින්තුපිටියේ පිහිටි පුරා විද්‍යාත්මක ස්ථානයකින්. එය 1813 දී උතුරු ඉන්දියාවෙන් මෙරටට පැමිණි රාම්ලාල් මහරාජා විසින් ගොඩනගන ලද ස්ථානයක්. 1923 දී ශ්‍රී ලංකාවට පැමිණි මහත්මා ගාන්ධිතුමා සහ පිරිස නවාතැන් ගත්තේ මෙම ස්ථානයේ. මෙම ස්ථානය "සත්තරම" නමින් හැඳින්වෙනවා.

    මෙබඳු ස්ථානයකින් මෙම සංචාරය ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය ජනමාධ්‍යවේදීන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට ස්තූතිය පළ කරනවා. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන්නේ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංවිධානයයි. කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවත්, එය තවදුරටත් වැඩකිරීමට තම උපරිම දායකත්වය ලබාදෙන බවත්, එම මාධ්‍යවේදීන් කියා සිටියා.

    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 09:24

    Latest News