පොලීසියට වැරදුණු වෙඩිල්ලෙන් පාසල් සිසුවා රෝහලේ

ඔක් 29, 2022

    පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර, තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

    මෙලෙස වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකුටයි.

    පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පාසල් සිසුන් පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයකින් නවතා පරීක්ෂා කිරීමට යෑමේදී පොලීසියේ නිලධාරියෙකුගේ පිස්තෝල අවිය ක්‍රියාත්මකවීමෙන් සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුව තිබේ.

    සිදුවීමෙන් තුවාල ලැබූ සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්තාක ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

    එම සිද්ධියත් සමග ගම්වාසීන් තිහගොඩ පොලීසිය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා ඇත.

    මේ වන විට සිද්ධියට සම්බන්ධ 54 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

    දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ අධීක්ෂණයෙන්, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන කටයුතු සිදුකරයි.

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 08:44

    Latest News