ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ට එරෙහිව පෙත්සම් දෙකක්

ඔක් 07, 2022

    වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම් 2ක් ගොනු කර තිබේ.

    ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

    තීරණය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු වරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)g යන වගන්ති යටතේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී තිබේ දැයි විභාගයක් පැවැත්වීමට තීරණය කරන බවයි.

    මෙම නඩුකරවලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් නියෝග කිහිපයක් ද නිකුත් කරනු ලැබුවා.

    එනම් අදාළ පෙත්සම්වලින් කරුණු ඉදිරිපත් කර තිබු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් ඇමරිකානු ඩොලරය රුපියල් 203/- ක වටිනාකමේ රඳවා ගැනීමට ක්‍රියා කිරීම සහ ඊට අදාළ සියලු කාරණා, ඉකුත් ජනවාරි මස 18 වනදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් විදේශ සංචිතවලින් ගෙවීම සහ ඊට අදාළ කාරණා, ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වීම යන කාරණා සම්බන්ධයෙන් පූර්ණ විගනන විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විගණකාධිපතිවරයාට නියෝග කළා.

    මෙම ක්‍රියාවලින් ආර්ථිකයට යම් හානියක් සිදුවී තිබේ නම් ඒ සම්බන්ධ තොරතුරු හා නිර්දේශ අදාළ වාර්තාව තුළින් ඉදිරිපත් කළ යුතු බවටද එම නියෝගයේ සඳහන් වුණා.

    එම වාර්තාව ලබන වසරේ ජනවාරි මස 02 වනදා ට පෙර ගොනු කරන ලෙසයි අධිකරණය විසින් විගණකාධිපති වරයාට නියෝග කළේ.

    ඊට අමතරව වත්මන් ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ඇමරිකානු ඩොලරය රුපියල් 203/- ක් ලෙස කෘත්‍රිම ආකාරයට රදවා ගැනීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම පිළිබදව කාරණා සම්බන්දයෙන් තමන් විසින් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ රාණි ජයමහ යන අය විසින් ඉකුත් මැයි මස 25 වනදා පාර්ලිමේන්තු කෝප් කමිටුවේ දී සිදුකරන ලද ප්‍රකාශවලට සම්බන්ධ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කළා.

    එම ලේඛන නොවැම්බර් මස 30 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කළේ.

    එමෙන්ම ප්‍රශ්නගත කාලසීමාව තුළ මුදල් අමාත්‍යවරු වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් විසින් ආර්ථික කටයුතුවලට අදාළව ගනු ලැබූ තීරණ, නිර්දේශ, නිවේදන පිළිබඳ සියලු ලේඛන නොවැම්බර් මස 30 වනදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් පත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට වැඩිදුරටත් නියෝග කර සිටියා.

    එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන අය විසින් සිදු කර තිබෙන නිර්දේශ හා සන්නිවේදනවලට අදාළ පිටපත් නොවැම්බර් මස 30 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට නියෝග කළා.

    ඊට අමතරව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ එවක අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල, මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර යන පාර්ශව වෙත නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කර සිටියා.

    ඉන් අනතුරුව අදාළ පෙත්සම් ලබන ජනවාරි මස 09 වන දා යළි කැඳවීමට නියෝග කෙරුණා.

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් එක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබුණා.

    විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු වන මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් විසින් තවත් පෙත්සමක් ඉදිරිපත් කළා.

    පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ වගඋත්තර කරුවන් විසින් අනුගමනය කළ අකාර්යක්ෂම හා අදුරදර්ශී ආර්ථික පිළිවෙත් හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වූ බවයි.

    මේ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    Latest News