ජාතික සභාවේ දෙවැනි රැස්වීම ඊයේ පැවැත්වුණා

ඔක් 07, 2022

    ජාතික සභාවේ දෙවැනි රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැත්වුණා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණය යන අනු කමිටු දෙක සඳහා සාමාජිකයන් පත් කිරීම එහිදී සිදු කෙරුණා.



    ජාතික සභාව ස්ථාපනය කෙරුණේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවකට අනුවයි. එය කථානායකවරයාගේ සභාපතිත්වයෙන් රැස් වන අතර, අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායක, ‍විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නිල බලයෙන් එහි සාමාජිකයන් වනවා. ඒ යටතේ පත් කෙරුණු එක් කමිටුවක් වන්නේ, කෙටි, මධ්‍යම සහ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවයි. එහි සාමාජිකයන් ලෙස පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, වජිර අබේවර්ධන, අසංක නවරත්න, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්‍රි, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, නසීර් අහමඩ්, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඒ.එල්.එම්.අතාවුල්ල යන මහත්ම මහත්මීන් පත් කර තිබෙනවා. ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ සාමාජිකයන් වන්නේ, වජිර අබේවර්ධන, ෂිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අසංක නවරත්න, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, පාඨලී චම්පික රණවක, සිසිර ජයකොඩි, එම්.රාමේෂ්වරන්, මනෝ ගනේෂන්, ටිරාල් අලස්, නසීර් අහමඩ් සහ ඒ.එල්.එම්.අතාවුල්ලා යන මහත්වරුන්. කමිටු දෙක අද රැස්වීමට නියමිතයි.

    Latest News