ආර්ථික අර් බුදය ජය ගැනීමට ශ්‍රී ලංකාවට සහය වනවා - යුරෝපා සංගමය

ඔක් 03, 2022

    ආර්ථික අර්බුදය ජයගනිමින්, සෞභාග්‍යය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහය වන බව, යුරෝපා කොමිසම පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීම නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කොමිසමේ සභාපති,  උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය මේ බව කියා සිටියා.

     ශ්‍රී ලංකා රජය ගෙන යන මෙම ක්‍රියාවලියේ දී අදහස්  ප්‍රකාශ කිරීමේ සහ රැස්විමේ නිදහස මෙන්ම, සියලු පාර්ශ්වකරුවන් අතර සංවාදයක් මෙන්ම, නීතියේ අධිපත්‍යයට ද මූලික අයිතිවාසිකම්වලට ද ගරු කිරීම අත්‍යවශ්‍ය බවයි, ලේන් මහත්මිය කියා සිටින්නේ.

    ජීඑ‍ස්පී ප්ලස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති කැපවීම පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින්   යුරෝපා කොමිසම තක්සේරු කරනු ඇති බවයි, ලේන් මහත්මිය ප්‍රකාශ කළේ.

    එම වාර්තාව මේ වසර අග භාගයේ  දී හෝ ලබන වසර මුල් භාගයේ දී  නිකුත් කිරීමට නියමිත අතර, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ කෙටි හා දිගුකාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වා දීමට සහ මෙහෙයවීමට ද අපේක්ෂා කෙරෙනවා. 

    පෙර නොවූ විරු ආර්ථික පසුබෑමේ විනාශකාරීත්වයෙන් සාර්ථකව ගොඩ ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සහය, සාර්ථක වේවායි ද, යුරෝපා කොමිසමේ සභාපති, උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය ප්‍රාර්ථනය කර සිටිනවා.

    එමෙන්ම හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා  වූ කැපවීම් මත පදනම්ව, දෙරටේ බැදීම් සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමක් කිරීමට හා සමීපව කටයුතු කිරීමට ද තම කැමැත්ත පළ  කරන බවයි, ඇය කියා සිටින්නේ.

    Latest News