වසරකට කෝටි 12කට වැඩි පිරිවැටුම් ලබන්නන් ලියාපදිංචිය අනිවාර්යයි

සැප් 29, 2022

    ලබන මස 01 දා සිට ක්‍රියාත්මක කෙරෙන සමාජ ආරක්ෂණ බදු පනතට අනුව වසරකට රුපියල් කෝටි 12ක (රුපියල් මිලියන 120) ඉහළ පිරිවැටුමක් ලබන පිරිස් තම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එසේ නැති නම් කාර්තුවකට රුපියල් කෝටි 3කට (රුපියල් මිලියන 30) ඉහළ පිරිවැටුමක් ලබන අය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු වේ.

    වසර 2022 සඳහා වූ අය වැය වසර 2021 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එවකට හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ජාතිය ගොඩනැඟීමේ බද්ද ඉවත් කොට ඒ වෙනුවට සමාජ ආරක්ෂණ බද්ද හඳුන්වා දෙන ලදි.

    නමුත් එම බද්ද මේ වසරේ ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ. 

    මේ බද්දේ අනුපාතය 2.5%කි. නව බද්ද 2022 වසර පුරාවට අය කිරීමට ක්‍රියා කළා නම් ඉන් රුපියල් බිලියන 140ක ආදායමක් උපයා ගැනීමට රජය අපේක්ෂා කොට තිබිණි.

    නමුත් මේ බද්ද මේ වසරේ ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වන බැවින් අය කර ගත හැකි වනුයේ අපේක්ෂිත බදු ආදායමෙන් ¼ක් බව ආදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    Latest News