සවසට ගිගුරුම් සහිත තද වැසි

මාර් 17, 2019

    අද සහ හෙට (17 - 18) බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    හෙට දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 කපමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමයි. පුත්තලම සිට කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය, හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 10-20 පමණ වේ.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද මෙම කාලගුණ තත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනතාවට යම් අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා භාෂා ත්‍රිත්තවයෙන්ම 117 දුරකතන අංකය පැය 24 පුරාම විවෘතව පවතින බව එම නිවේදනයේ සඳහන්ව ඇත. සියළුම දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ඒකක, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් පසුවෙන බව ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා සිටියි.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 17:32

    Latest News