රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -
2016 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළා. එහිදී ප්‍රධාන පෙළේ බහුජාතික පැණිබීම සමාගම් සීනි භාවිතය සියයට 10 කින් අඩු කිරීම ප්‍රගතිශීලී පියවරක්. 2018 වසරේ සිට පැණිබීම වර්ගවල සෑම සීනි ග්රැමයකටම සත 50 ක බද්දක් අය කළා. මේ නිසා පැණිබීම වෙළෙදාම අඩු වූ නිසා සීනි රහිත බීම වෙළෙදපොලට හදුන්වා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් 2018 වසරේ සිට බිස්කට් සහ රසකැවිලි සදහා ද වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබදව තොරතුරු රැස් කළා. බිස්කට් සහ රසකැවිලි කර්මාන්තය සංවිධානාත්මක කර්මාන්තයක්. තවත් අතකින් සුළු පරිමාණ මට්ටමින් රසකැවිලි නිෂ්පාදකයින් ද සිටින නිසා එය විශාල ජාලයක් වී තිබෙනවා. සංවිධානාත්මක රසකැවිලි නිෂ්පාදන සමාගම් විසින් වසරකට අලෙවි කරන බිස්කට් තොගය ටොන් 80,000 ක් වෙනවා.
එහිදී සීනි භාවිතය අඩු කළ යුතුයි. මේ පිළිබදව එම නිෂ්පාදකයින් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපේ රටේ දේශීය නිෂ්පාදන කර්මාන්තයක් වන බිස්කට් නිෂ්පාදකයින් රටවල් 55 කට සිය නිෂ්පාදන අපනයනය කරනවා. එම නිසා ජාත්‍යන්තරයත් පිළීගන්නා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීමට ඔවුන් එකගතාවයට පැමිණියා. එම නිසා තමයි සීනි පරිභෝජනය අඩු කිරීමේ වැඩපළිවෙලට එම සමාගම් දායකත්වය දක්වන්නේ. මෙම නීතිය අප්‍රේල් මස 02 දින සිට ක්‍රියාත්මකයි. බිස්කට් සහ රසකැවිලි වල සීනි, ලුණු, මේදය සදහා වර්ණ සංකේත ක්‍රියාත්මක කරන අතර භාෂා ත්‍රිත්වයෙන් ද කරුණු ඉදිරිපත් කළ යුතුයි. බිස්කට් වර්ග සහ රසකැවිලි වල ඒවා අඩංගු ප්‍රමාණ ද සටහන් විය යුතුයි. 2016 වසරේ පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළ විට වැඩි ප්‍රචාරයක් තිබුනේ නැහැ.
නමුත් එහි බලපෑම පිළිබදව 2018 වසරේ සිදු කළ සංගණනයකට අනුව පාසල් දරුවන් සියයට 58 ක් වර්ණ සංකේත ක්‍රමය පිළිබදව අවබෝධයෙන් සිටියා. පැණිබීම මිල දී ගැනීමේ දී පාසල් දරුවන් සියයට 38 ක් වර්ණ සංකේත ක්‍රමය කෙරෙහි අවධානය යොමු කර තිබුනා. නමුත් මෙවර අපි වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රචාරක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරනවා. බෝ නොවන රෝග වලින් ජනතාව බේරා ගැනීම සදහා තමයි මෙම පියවර ගනු ලබන්නේ. මැලේරියා, බරවා, රුබෙල්ලා මවගෙන් දරුවාට වැළදෙන පිටගැස්ම යන රෝග අපි තුරන් කර තිබෙනවා. 2019 වසරේ දී මහගෙන් දරුවාට වැළදෙන එච්.අයි.වී රෝගය පාලනය කිරීමටයි අපි සැළසුම් සකස් කොට ඇත්තේ. ඩෙංගු, ක්ෂය රෝගය සහ ඒඩ්ස් රෝගය ද මෙරටින් තුරන් කිරීමට අපි පියවර රැසක් ගෙන තිබෙනවා.