නෙළුම් කුලුන අද (15) සිට ජනතාවට විවෘතයි...(වීඩියෝ)

සැප් 15, 2022
  • සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීම, මූල්‍යමය ප්‍රතිලාභ ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් ඉදිකෙරුණු නෙළුම් කුළුණ ජනතාවට විවෘත වන තුරු බොහෝ දෙනෙක් බලා සිටියා. අද සිට එම අවස්ථාව හිමිවුණා.

    නෙළුම් කුළුණ ජනතාවට විවෘත කෙරුණු පළමු වන දිනය වන අදත්, බොහෝ පිරිසක් එය නැරඹීමට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. නෙළුම් කුළුණ මීටර් 356ක උසකින් යුක්තයි. දේශීය ආයෝජකයින් 80%ක් සහ විදේශීය ආයෝජකයින් 20%ක් නෙළුම් කුළුණ සම්බන්ධ ආයෝජනවලට එක්ව සිටිනවා. නෙළුම් කුළුණේ පළමු මහල වෙන්ව ඇත්තේ, කාර්යාල පහසුකම් සඳහායි. ඩිජිටල් සිනමා ශාලාවක්ද එහි පවතිනවා. තෙවැනි මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විතයි. එහි එකවර 400 කට පමණ පහසුකම් පවතිනවා. බිම් මහලේ ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළෙඳසල්වල අත්දැකීම ද ජනතාවට අත්විඳගත හැකියි. විවෘත මහල වෙන් කෙරෙන්නේ, විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහායි. නෙළුම් පොහොට්ටුව හැඩයේ පළමු මහලේද 400 කට පමණ අසුන්ගත හැකි සම්මන්ත්‍රණ ශාලාවක් ස්ථාපිතයි.

    නෙළුම් කුළුණ පිළිබඳව විස්තර ලබාගැනීම, ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සහ උත්සව සඳහා වෙන් කරවාගැනීම් සඳහා වන කොළඹ නෙළුම් කුළුණ වෙබ් අ‍ඩවිය ජනගත කිරීම ද අද උදේ සිදු කෙරුණා. ඒ, කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතාගේ ප්‍ර ධානත්වයෙන්. වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන්නේ, කෝඩ්ජන් සහ එස් එල් ටී ආයතන එක්වයි.

    නෙළුම් කුළුණ නැරඹීම සඳහා රුපියල් 500 සහ රුපියල් 2000 බැගින් වූ ප්‍රවේශ පත්‍ර කවුළුවලින් නිකුත් කෙරෙනවා. දරුවන් සඳහා වූ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 200ක්. රුපියල් 2000 ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා අයෙකුට පෝලිමේ නොසිට එම පරිශ්‍රයට ඇතුළු විය හැකියි. විදේශිකයෙකු නම්, අමෙරිකානු ඩොලර් 20 ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුයි.

    නෙළුම් කුළුණේ, ඉදිරි කටයුතු අදියර 03ක් යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ලබන මාර්තු වන විට නෙළුම් කුළුණ මුළුමණින්ම ක්‍රියාත්මක වන ව්‍යාපාරික ස්ථානයක් බවට පත්වනු ඇති. නෙළුම් කුළුණ කේන්ද්‍ර කරගනිමින් අවට ප්‍රදේශය ආර්ථික සංවර්ධන කලාපයක් බවට පත් කිරීමටයි, රජය සැලසුම් කර ඇත්තේ.

    Latest News