ජපානයේ රැකියා උදාකර දෙන උපාධි වැඩසටහනක් ඇරඹේ...(වීඩියෝ)

සැප් 15, 2022
  • මෙරට තරුණ ප්‍රජාවට ජපානයේ රැකියා අවස්ථා උදාකර දෙන උපාධි වැඩසටහනක් අද ආරම්භ කෙරුණා.

    ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම උපාධි වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ, ලංකා නිපෝන් බිස්ටෙක් ආයතනය විසින්. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සඳහා පිළිගත් විද්‍යාවේදී උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස මහරගම ඉදි කෙරුණු, මෙම නව ජපන් තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය හැඳින්වෙනවා. එහි පළමු උපාධි වැඩසටහන අග්‍රාමාත්‍යවරයාගේ සහ ජපාන තානාපති මිසුකොෂී හිදෙකි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රටට අවශ්‍ය මොහොතක මෙවැනි උපාධි වැඩසටහන් හඳුන්වාදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, එම ආයතන වෙත සිය ස්තුතිය පළ කළා.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ජපන් රැකියා ඉලක්ක කරගත් වැඩසටහන් ඉදිරිපත් කරන, මෙරට ප්‍රථම සහ එකම ජපන් උසස් අධ්‍යාපන ආයතනය වන්නේ ලංකා නිපෝන් බිස්ටෙක් ආයතනයයි. මෙම විශ්වවිද්‍යාලයෙන් පිටවන සිසුන්ට අනිවාර්යයෙන් ජපාන පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හිමිවීම විශේෂත්වයක්. තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන අවස්ථා මෙන්ම මෙරට තොරතුරු තාක්ෂණය ආශ්‍රිත වැඩසටහන් සඳහා ද මෙම විශ්වවිද්‍යාලයේ සහය ලබාගත හැකියි. ජපන් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ස්ථිර රැකියා සහතික කරන, උපාධි පිරිනමන දකුණු ආසියාවේ එකම ජපන් උසස් අධ්‍යාපන ආයතනය ද මෙයයි. ලංකා නිපෝන් බිස්ටෙක් ආයතනයේ සභාපති කොර්ගො මිච්යෝ සහ මහාචාර්ය ආනන්ද කුමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද පැවති සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා.

    Latest News