කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබිණ.
රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට පෙනී සිටින බැවින් මෙම නඩු විභාගයට වෙනත් දිනකට කල් දමන මෙන් ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව නඩුවේ වැඩිදුර විභාගය ජුලි මස 18 වනදා දක්වා කල් දැමීමට විනිසුරුවරයා තීන්දු කෙරිණ.
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ,ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2994 ක මුදලක් වැයකර අඩු ආදායම්ලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.