අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියයයි

සැප් 01, 2022

    අම්බලන්ගොඩ බලපිටිය මූලික රෝහල ආසන්නයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියා. 

    යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් ආ දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසන්නේ.

    අම්බලන්ගොඩ බලපිටිය ආශ්‍රීතව සති 5 ක් ඇතුළත සිදුවූ 5 වැනි වෙඩි තැබීමේ සිද්ධිය මෙයයි.   ඊයේ රාත්‍රී 7.45 ට පමණ පැවති වර්ෂාව මධ්‍යයේ වෙඩි තැබීම සිදු කර තිබෙනවා.  මියගොස් ඇත්තේ, අම්බලන්ගොඩ සීනිගොඩ පදිංචි මධුර කසුන් ගුණතිලක නමැති 27 හැවිරිදි දෙදරු පියෙක්. 

    ඔහු ඉකුත් අගෝස්තු 21 වැනිදා අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලයකදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවේ එම මියගිය දෙදෙනා සමග සිටි අයෙකු බවට හෙළි වී තිබෙනවා.  එදින වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් හඳුනාගත් බවට ඇතිවූ සැකය මත මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ. 

    වසර කිහිපයකට ඉහතදී අම්බලන්ගොඩ කුලීගොඩදී ඝාතනය කළ බෙනට් අජිත් සොයිසාගේ මරණය සම්බන්ධයෙන් වසන්ත සොයිසා නමැත්තා ඌරාවත්ත ප්‍රදේශයේදී ඝාතනය කිරීමෙන් පසු මෙම ඝාතන මාලාව ආරම්භ වුණා.  වෙඩි තැබීමේ සිදුවීම් පහෙන් මේ වන විට පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

    මේ අතර, කෑගල්ල සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ සිදුවී වෙඩි තැබීමකින් 38 හැවිරිදි කාන්තාවක මියගොස් තිබෙනවා. 

    කෑගල්ල කලුගස්මාවතේ එම කාර්යාලය පිහිටා ඇති අතර, එහි මෙහෙයුම් සිදු වන්නේ, සමගි ජනබලවේගයේ කෑගල්ල ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතාගේ උපදෙස් මතයි. 

    වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සකුන්තලා වීරසිංහ නමැති කාන්තාවක්.  සිද්ධිය සම්බන්ධයෙන් ලක්ෂ්මන් දිසානායක මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

           

    Last modified on බ්‍රහස්පතින්දා, 01 සැප්තැම්බර් 2022 12:04

    Latest News