මහකන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාදයකින් තොරව ජනතාවට - ජනපති

අගෝ 20, 2022

    මහකන්නයට අවශ්‍ය  පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවිජනතාවට ලබා දීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

     මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීමෙන් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (20) පෙරවරුවේ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක  ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව උන්වහන්සේ සමග පැවති සාකච්ඡාවේ දී ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළහ.

    අටමස්ථානාධිපති නා හිමි පාණන් සමග පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කෘෂි ආර්ථිකය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ආර්ථික ගැටලු විසඳීමට රජය පියවර ගනිමින් සිටින බවයි.

    මහා විහාරයේ කැණිම් කටයුතු කඩිනම් කරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. ඒ තුළින් මියන්මාරය, බුරුමය වැනි රටවලින් සංචාරකයන් විශාල පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද විශ්වාසය පළ කර සිටියේය.

    ගොවිජනතාවට පොහොර සහානාධාරය ලබාදීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමග මේ වන විට සාකච්ඡා කරමින් තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා එහිදී පැවසීය.

    එමෙන්ම තේ, රබර්, පොල් සහ බඩ ඉරිගු වැනි බෝග ප්‍රවර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීමට ද රජය කටයුතු කරමින් සිටන බවත්, බීජ ආනනය සඳහා මෙවර අතුරු අයවැයෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 15:19

    Latest News