ඇසළ පෙරහර මංගල්‍යයේ වසරේ සියලු චාරිත්‍ර අවසන්

අගෝ 20, 2022

    මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ මෙම වසරට අදාළ සියලු චාරිත්‍ර ඊයේ (20) අවසන් කෙරුණා. 

    ඒ, විශ්ණු දේවාලයේ පැවති "හත්දා වලියකුම්" ශාන්තිකර්ම මංගල්‍යයෙන් අනතුරුවයි.  ඇසල පෙරහර මංගල්‍යයට දායකවූ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ, සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්ගේ,  පිටිසර බද දේවාලබස්නායකනිලමේවරුන්ගේ, අලි ඇතුන්ගේ, කලාකරුවන්ගේ, සංවිධායක මණ්ඩලයේ හා සැදැහැවතුන්ගේ වස්දොස් දුරුවී සෙත් ශාන්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දින 07ක් තිස්සේ මෙම ශාන්තිකර්මය පැවැත්වුණා.

    එහි අවසන් ශාන්තිකර්මය ඊයේ පැවැත්වුණේ ද විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.  ඇසල පෙරහර මංගළ්‍යයේ ආරම්භයේදී කප් කැපීම සහ කප් සිටුවීම ද එහි අවසානය වන "වලියකුම්" ශාන්තිකර්මය ද පැවැත්වෙන්නේ, විශ්ණු දේවාලය කේන්ද්‍ර කරගෙනයි. පෙරහැර සාර්ථක කරගැනීම සඳහා දේව ආශිර්වාදය බෙහෙවින් ඉවහල්වන බවට පවතින විශ්වාසය පදනම් කරගෙන මෙම ශාන්තිකර්මය සිදුකෙරෙනවා. විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත, අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයේ භාරකාර දම්සිරි කරුණාරත්න, මහනුවර නියෝජ්‍ය නාගරික කොමසාරිස් ප්‍රභාත් මද්දුමාරච්චි යන මහත්වරුන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. 

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 15:22

    Latest News