මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට නව වැඩපිළිවෙළක්

අගෝ 16, 2022

    ශ්‍රී ලංකාවට පැමිණෙන එක් එක් ගුවන් සේවා සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාන ගණනය කොට ඒවා ලබාදීම සඳහා ඛණිජ තෙල් සංස්ථාව සමග එක්ව විධිමත් වැඩපිළිවෙළක් සකසන ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

    ශ්‍රී ලංකාවට පැමිණෙන හා පිටව යන ගුවන්යානා සඳහා කිසිදු බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    ගුවන් සේවා ක්‍ෂේත්‍රය යළි ස්ථාවර කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා. ඉන්ධන ලබා ගැනීමේ අපහසුතා හේතුවෙන් මෙරටට පැමිණෙන හා පිටත් වන ගුවන් යානා සංඛ්‍යාව සැලකියයුතු ලෙස අඩු වී තිබෙනවා. සාකච්ඡාවට සහභාගි වූ ගුවන් සේවා සමාගම් පෙන්වා දුන්නේ, සංචාරක සමය ආරම්භ වන ඉදිරි මාසවලදී කටුනායක ගුවන් තොටුපොළ බොහෝ යානාවල ගමනාන්තයක් වන බවයි. එබැවින් ගුවන්යානා ඉන්ධන අඛණ්ඩව ලබාදීම අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරුණා. ශ්‍රී ලංකාව සමග අන්තර්ජාතික ගුවන්‍ සේවා 30 ක් පමණ එක්ව ක්‍රියා කරන අතර, ගුවන්යානා ඉන්ධන ලීටර මිලියන 1.3 ක් පමණ අවශ්‍ය බව එහිදී හෙළි වුණා. ඛණිජ තෙල් සංස්ථාවට ගුවන් යානා ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය නොහැකි නම් ඉන්ධන ආනයනය සදහා පෞද්ගලික අංශයට ඉඩ ලබාදිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළා. එහිදී ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජිතයන් සඳහන් කළේ, දැනටමත් බොරතෙල් නැව් දෙකක් ශ්‍රී ලංකාවට ලඟා වී ඇති බැවින් ලබන 20 වැනිදා සිට දිනකට මෙට්‍රික් ටොන් 600 බැගින් සපුගස්කන්ද පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කළ හැකි බවයි.

    Latest News