ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන්

අගෝ 16, 2022

    ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ.


    ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
    අනාගත දරුවන් වෙනුවෙන් ගුණාත්මක සේවාවක් සැපයීමෙහිලා ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පළාත් මට්ටමින් සකස් කරන ලද මාර්ගෝපදේශන සහ ප්‍රතිපත්ති දැනටමත් ක්‍රියාත්මක කෙරේ. නමුත් ජාතික මට්ටමේ පිළිගත් මාර්ගෝපදේශනයක අඩුවක් පැවතිණි.
    ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ඉදිරිපත් කර තිබෙන මෙම ජාතික මාර්ගෝපදේශය රටපුරා ඇති සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ළමාරක්ෂක ක්ෂේත්‍රය හා සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් නියෝජනය වන පරිදි අදාළ විශේෂඥයින්ගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ මෙම ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.
    ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ සහ අවම ප්‍රමිතීන් සකස් කිරීම සම්බන්ධයෙන් මූලික කෙටුම්පත 2013 වර්ෂයේදී ආරම්භ කරන ලදී. එය ජාත්‍යන්තර මට්ටමේ පවතින අවම ප්‍රමිතීන් පිළිබඳ අධ්‍යයනය කරමින් ආරම්භ කෙරුනු අතර එතැන් සිට මේ දක්වා අදියර ගණනාවක් යටතේ ළමා සංවර්ධනය, නීතිය, සෞඛ්‍යය හා ළමාරක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ කරුණු ඇතුළත් කරමින් මෙම මාර්ගෝපදේශ සහ ප්‍රමිතීන් සකස් කර ඇත.
    ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම ළමා සංවර්ධන මධ්‍යස්ථාවල කටයුතු කරනු ලබන නිලධාරීන් හා කාර්යමණ්ඩලවල දායකත්වයෙන් මෙම ජාතික මාර්ගෝපදේශන හා ප්‍රමිතීන් සකස් කර තිබේ. ළමාරක්ෂණයට අදාළ ප්‍රධාන අංශ හයක් ජාතික මාර්ගෝපදේශ හා ප්‍රමිති සංග්‍රහය යටතේ ආවරණය වී තිබේ.
    ළමා සංවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා ලියාපදිංචිය, ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය, ළමයින් ආයතනගත කිරීම සහ නැවත සමාජගත කිරීම, භෞතික පරිසරය හා ආරක්ෂාව සඳහා ප්‍රමිතීන්, ළමා සෞඛ්‍ය හා සුබසාධනය සහ පැමිණිලි මෙහෙයවීම, මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම සහ අධීක්ෂණය කිරීම පිළිබඳ මෙම ප්‍රමිතීන් අනුව සලකා බැලීමට යෝජනා කර ඇත.

    Latest News