ආන්දෝලනයට තුඩුදුන් චීන පර්යේෂණ නෞකාව හම්බන්තොටට පැමිණෙයි

අගෝ 16, 2022

    ආන්දෝලනයට තඩුදුන් යුවාන් වැන්ග් - 5 චීන විද්‍යාත්මක පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට අද උදේ සේන්දු වුණා.

    නෞකාව ලබන 22 වැනිදා දක්වා වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතයි.

    නෞවට හම්බන්තොට වරායට ඇතුළු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසර හිමි වුණේ, ඉකුත් සෙනසුරාදායි. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළදී ස්වයංක්‍රීය හඳුනා ගැනීමේ පද්ධතිය ක්‍රියාත්මක කර තබා ගැනීම සහ ශ්‍රී ලංකා මුහුදේ කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් සිදු නොකිරීමේ කොන්දේසි මත මෙම අවසරය ලබාදී තිබෙනවා. යුවාන් වැන්ග් - 5 නෞකාව මෙරටට පැමිණීමේ දිනය කල් දමන ලෙස ශ්‍රී ලංකා රජය අගෝස්තු 5 වැනිදා රාජ්‍ය තාන්ත්‍රික සටහනක් තබමින් කොළඹ පිහිටි මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කළා. නියමිත කාල සීමාව තුළ සැපයුම් ලබා ගැනීම සඳහා නෞකාවේ සංචාරයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ආරක්ෂණ නිශ්කාෂනය ලැබී තිබුණේ, පසුගිය ජූලි 7 වැනිදා.

    මැදිහත් වීම් රහිත හා අනාරක්ෂිත පදනමට යටත්ව සංඛ්‍යාත හා සන්නිවේදන උපකරණ භාවිතය සඳහා විරෝධතා නොමැති බවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලිපියක් ලැබීමෙන් පසු ඊට රාජ්‍ය තාන්ත්‍රික අවසරය හිමි වුණා. රාජ්‍ය තාන්ත්‍රික නිශ්කාෂනය සඳහා වන මෙම ඉල්ලීම් පිළිබඳව, විදේශ කටයුතු අමාත්‍යාංශය රජයේ පාර්ශවකරුවන් වන ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. සියලු රටවල් සමග සහයෝගීතාව හා මිත්‍රත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය යළි අවධාරණය කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. අසල්වැසි ප්‍රදේශවල ආරක්ෂාව හා සහයෝගීතාව අතිශයින් ප්‍රබල කරුණක්. සිය ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සියලු රටවල නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවේ අභිප්‍රායයි.


    Latest News