චීන ගවේෂණ නෞකාව හම්බන්තොටට පැමිණීම කල්දමන ලෙසට ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

අගෝ 09, 2022

    යුවාං වැංග්-5 ගවේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල්දමන ලෙසට විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ මහජන චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

    එම චාරිකාව පිළිබඳව වැඩිදුර නිරීක්ෂණ සිදු කිරීමට කාලය ලබා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බවයි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.

    යුවාං වැංග්-5 අධි තාක්ෂණික නිරීක්ෂණ පහසුකම්වලින් සමන්විත චීන නෞකාව මේ මස 11 වැනිදා හම්බන්තොට වරායට ලඟා වීමට නියමිතව තිබුණා. එහෙත්, ඉන්දියාව මෙම චාරිකාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීම නිසා එය පුළුල් මාධ්‍ය කතිකාවතකට ලක් වූ මාතෘකාවක් බවට පත් වුණා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අදාළ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික අවසරය පසුගිය ජුලි මස 12 වැනිදා ලබාදී තිබූ බවයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර, මිත්‍රත්වය මෙන්ම, ඉතා ඉහළ මට්ටමේ සබඳතා ද ඉතා ස්ථාවරව පවතින බව විදේශ අමාත්‍යාංශය සිය නිවේදනයෙන් සඳහන් කරනවා. මේ මස 4 වැනිදා කාම්බෝජයේදී විදේශ අමාත්‍ය අලි සබ්‍රි සහ චීන විදේශ අමාත්‍ය වැං යී යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාව මීට උදාහරණයක් බව එම නිවේදනයේ සඳහන්‍. ශ්‍රී ලංකාව දිගටම එක චීනයක් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.

    Latest News