පළාත් සභා වියදම් කළමනාකරණ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත

අගෝ 11, 2022

    පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුළ පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සහ පළාත් සභා වියදම් කළමනාකරණ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, ජනාධිපත්තුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, මේ සම්බන්ධයෙන් සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් ලිඛිතව දැනුවත් කර ඇති බවයි.

    වර්තමාන අභියෝගාත්මක කාලසීමාව තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් මහජන සේවා ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම අතිශයින් වැදගත් වනවා. පළාත් සභා පරිපාලනය, සංවර්ධන කටයුතු හා පළාත් සභා වියදම් කළමනාකරණය කිරීමේදී ජාතික ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග අනුගතව කටයුතු කිරීමත්, ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා සපුරාලීමත්, බෙහෙවින් වැදගත් වන බව, මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

    තම පළාතේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගැනීමේදී මෙන්ම, අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරුන් පළාතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යා යුතු බවට, ආණ්ඩුකාරවරුන් වෙත යවා ඇති ලිපියෙන් දන්වා තිබෙනවා.

    ඒ අනුව, අවම වශයෙන් දෙසතියකට වරටක් තම පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පවත්වා, පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳ නිරන්තර කථිකාවක් පවත්වා ගැනීමට ද කටයුතු කරන ලෙසයි, දැනුම් දී ඇත්තේ.

    මෙම අසීරු කාලවකවානුව තුළ ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ආණ්ඩුකාරවරුන් දක්වන දායකත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධානයෙන් පසු වන බවද, ජනාධිපති ලේකම්වරයා විසින් යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.

    Latest News