පලාත් සභා ඡන්දය පැවැත්විමේ මත විමසුම් විභාගය ඇරඹේ

අගෝ 23, 2019

    පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක ඡන්දයක් පැවැත්වීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත වීමසීමට අදාල විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ආරම්භ කෙරිණ.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වේ.

    බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කරති.

    ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විවිධ පාර්ශව වලින් ලිඛිත දේශන 13 ක් ඉදිරිපත් වී බව නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේය.

    පළාත් සභා සීමා නිර්ණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවේ දී ඡන්ද 139 කින් පරාජය කර ඇති බව පාර්ශවකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය. සීමා නිර්ණය වාර්තාව නැවත අධ්‍යයනය කිරීම සඳහා කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා එම කමිටුව විසින් ඔවුන්ගේ වාර්තාව මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව කියා සිටියේය.

    මෙම වාතාවරණය මත පාර්ලිමේන්තු ක්‍රියාදාමය මගහැර නීතිය අභිබවා ගොස් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන ප්‍රශ්නය ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙය දැඩිව සැලකිල්ලට භාජනය කළ යුතු කරුණක් බව සිය දේශනය ඉදිරිපත් කරමින් කියා සිටියේ.

    මෙම විභාගය තවදුරටත් පැවැත්වෙනවා.

     

     

    Last modified on සිකුරාදා, 23 අගෝස්තු 2019 13:27

    Latest News