09 වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සැසිවාරය අද ඇරඹේ

අගෝ 03, 2022

    නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (03) උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    චාම් උත්සවයක් පැවැත්වෙන අතර ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරයි.

    ඉකුත් 28 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූයේ 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයයි. එය 2022 වසරේ ජනවාරි 18 සිට ආරම්භ වුණා. එහි පළවෙනි සැසිවාරය ක්‍රියාත්මක වූයේ 2020 වසරේ අගෝස්තු 20 වනදා සිට 2021 දෙසැම්බර් 12 වනදා දක්වායි. ඒ අනුව අද දිනයේදී ආරම්භ වන්නේ 09 වන පාර්ලිමේන්තුවේ 03 වන සැසිවාරයයි.

    පවතින පාර්ලිමේන්තුවක වාර අවසන් කිරීමේදී ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබූ පාර්ලිමේන්තු කමිටුවල ක්‍රියාකාරිත්වය ද අවසන් වනවා. කෝප් සහ කෝපා කමිටු ද ඒ අතරට අයත්. ඒ අනුව පාර්ලිමේන්තුව යලි ආරම්භ කිරීමෙන් පසු එම කමිටුවලට නව සාමාජිකයින් පත් කර එහි කටයුතු අලුතින් ආරම්භ කිරීමට ද නියමිතයි.

    Latest News