ඒරෝෆ්ලොට් ගුවන් සමාගමට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස නියෝග

ජූලි 15, 2022

    රුසියානු ඒරෝෆ්ලොට් ගුවන්යානය මෙරටින් පිටව යාම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළ අයර්ලන්ත සමාගමක් විසින් ගොනුකළ නඩුව ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළා.



    එම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා සහ එරෝෆ්ලොට් ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විසින් මතුකළ මූලික විරෝධතා සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා මෙම තීන්දුව අද ලබා දුන්නා.

    මෙම නඩුව ඉකුත් 05 වනදා විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිලිකාර පාර්ශ්වය අධිකරණය නොමග යවමින් රුසියානු ගුවන් යානය මෙරටින් පිටව යාම වළක්වාලමින් වාරණ නියෝගයක් ලබාගෙන තිබු බව සඳහන් කර තිබුණා.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ බලය අවභාවිත කරමින් මෙම ගුවන් යානය මෙරටින් පිටව යාම වැළැක්වීමට කටයුතු කළ බවද ඔහු චෝදනා කළා.

    ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ද්වීපාර්ශවික ගිවිසුම්වලට අනුව මෙවැනි වාරණ නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා තිබුණා.

    අදාළ වාරණ නියෝගය නිකුත් කිරීමේ සිද්ධිය හේතුවෙන් රුසියනු ගුවන් යානා මෙරටට පැමිණීම නතර වී ඇති අතර මේ තුළින් රටට පිරිමැසිය නොහැකි ආර්ථික හානියක් සිදුව තිබෙන බවත් ඔහු චෝදනා කළා.

    එබැවින් මෙම නඩුව මුල් අවස්ථාවේ දීම විභාගයට නොගෙන ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා වැඩිදුරටත් එදින අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

    රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද මෙම නඩුව පවත්වාගෙන යාමට අධිකරණයට බලයක් නොමැති හෙයින් එය නිෂ්ප්‍රභ කරන ලෙස විරෝධතා මතු කර තිබුණා.

    සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව අද දින ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කරණ බව නිවේදනය කළා

    Latest News