ගාල්ලේ පිරවුම්හලක ගැටුමකින් තරුණයෙකු මරුට

ජූලි 08, 2022

    ගාල්ල, මාගල්ල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සිදු වූ ගැටුමකින් 25 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙනවා.

    තුවාල ලැබූ තිදෙනෙකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

    අද අලුයම 1.00 ට පමණ ගැටුම සිදු වී තිබෙනවා. තියුණු ආයුධවලින් කළ පහරදීමකිනුයි, තරුණයා මියගොස් ඇත්තේ. දින කිහිපයක සිට ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ නතර කර තිබූ මෝටර් රථයක අයිතිකරු හමුවීමට ඔහුගේ මිතුරෙකුත්, මිතුරාගේ සහෝදරයා සහ බිරිඳ පැමිණ තිබෙනවා. ඔවුන් තේ පානය සඳහා හෝටලයකට ගොස් නැවත පැමිණීමේදී එම රථය ඉදිරියෙන් තවත් මෝටර් රථයක් නතර කර තිබීම නිසා, ඒ පිළිබඳව විමසීමේදී මෙම ආරවුල ඇති වී තිබෙන බවයි, පොලිසිය පවසන්නේ. ඉන්ධන පිරවුම්හලේ සිට මීටර 200 කට ආසන්න දුරින්, ගාල්ල, උඩුගම මාර්ගයේදී මෙය සිදු වී තිබෙනවා.

    මියගිය ගොස් ඇත්තේ, පෝලිමේ රැඳී සිටි මෝටර් රථයේ හිමිකරු බැලීමට පැමිණි මිතුරායි. ඔහුගේ සහෝදරයෙකු, රථයේ හිමිකරු ද තුවාල ලබා තිබෙනවා. පහර දුන් පාර්ශ්වයේ අයෙකු ද තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ. මිය ගිය තරුණායා යටගල, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පහරදීම කළ සැකකරුවන් පොලිසිය මේ වන විට හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයක්, ත්‍රී රෝද රථයක් හා යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.

    Latest News