හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් නිදොස් කොට නිදහස්

ජූනි 20, 2022

    සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත සමන්ත මුහන්දිරම් හෙවත් සර්පයා නැමැත්තා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    ඔහු 1999 වසරේ කලවාන ප්‍රදේශයේ දී හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂකයා වෙඩිතබා මරා වාහනයක් තුළ දමා ගිණි තැබීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියා.

    කොළඹ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ පොලිස් විමර්ශන හරියාකාරව සිදු කිරීමට පොලීසිය පියවර ගෙන නොමැති බවයි.

    නොසැලකිලිමත් ආකාරයෙන් පොලිසිය මෙම විමර්ශනය සිදු කර ඇති බවත් ඉදිරිපත් කළ සාක්ෂි විශ්වාසනීයත්වයෙන් තොර බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා.

    අධිකරණ වෛද්‍ය සාක්ෂිද විශ්වාසනීයත්වයෙන් තොර බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

    විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළා.

    1999 වසරේ සැප්තැම්බර් මස තුන් වනදා කලවාන ප්‍රදේශයේ දී සබරගමුව පළාත් සභා මන්ත්‍රී රංජිත් නන්දසේන සහ ඔහුගේ ආරක්ෂක දීපාල් ගුණසිංහ යන අය වෙඩි තබා මරා දමා වාහනයක් තුළ දමා පිලිස්සු බවට චෝදනා කරමින් හසිත මුහන්දිරම් හෙවත් සර්පයා නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.

    Latest News