ජනපති නික්කෙයි (Nikkei) සමුළුව අමතයි...(වීඩියෝ)

මැයි 26, 2022
  • නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කර ගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව”(Nikkei) අද (26)වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව සමුළුව සංවිධාන කරයි. දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව “බෙදී ගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම” යන්නයි. ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. වර්තමාන ජාතික අර්බුදයට විසඳුම් එම
    ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන්ම ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල පහත වැටීම, දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම සහ ශ්‍රී ලංකාවේ ඉහළ ණය බර සමග ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් හේතුවෙන් උද්ධමනය සිදු විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවීමට සමගාමීව අපගේ ණය හිමියන් සමග සාකච්ඡා කර බාහිර රාජ්‍ය ණය ප්‍රති්‍යුහගත කිරීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ දී “ණය ගෙවීමෙන් නැවතී සිටීමක්” නිවේදනය කළේය.

    කෙසේ වෙතත්, මෙවැනි විසඳුම් හරහා කටයුතු කරන විට අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට මිත්‍ර රාජ්‍යවල සහාය ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකි. ජපානයෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය සඳහා දරණ උත්සාහයට ජපානයේ සහාය හිමිවනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය සොයා බලන ලෙස සමුළුවට එක්ව සිටින සියලු මිත්‍ර රාජ්‍යයන්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

    ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල දුෂ්කරතාවන්, කොවිඩ්-19 වසංගතයේ දිගුකාලීන බලපෑම් පිළිබඳ පූර්ව ඇඟවීමකි. එය යුරෝපයේ පවතින ගැටුමෙන් වඩාත් දරුණු අතට හැරී තිබේ. කලාපීය මෙන්ම ගෝලීය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා එවැනි අවධානමට ලක්විය හැකි රටවලට මෙම දුෂ්කර කාලසීමාවේ දී සහාය වීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    අනාගතයේ දී ආහාර සුරක්ෂිතතාව සම්බන්ධව ලෝකය මුහුණ දෙන වඩාත් පුළුල් ගැටලුවක් පැන නැගෙයි. ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි ආහාර ද්‍රව්‍යවල හිඟය සහ ආහාරවල මිලෙහි තියුණු වැඩිවීම් බොහෝ රටවලට සැලකිය යුතු පීඩනයක් එල්ල කරනු ඇත.

    එබැවින් මෙම තීරණාත්මක ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීම සහ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දීම මෙන්ම එළැඹෙන ගැටලුව හමුවේ අපගේ ප්‍රත්‍යස්ථතාව වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍යය. මෙම ගැටලු ජයගැනීම සහතික කිරීම සඳහා ජාතීන් අතර සහයෝගීතාව වැඩි කිරීමේ අවවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ආසියානු, පැසිෆික් කලාපයේ දේශපාලන නායකයන්,ආර්ථික සහ ශාස්ත්‍රීය ප්‍රවීණයන් විසින් කලාපීය ගැටලු සහ ලෝකය තුළ ආසියාවේ කාර්යභාරය පිළිබඳව නිදහස් අදහස් ඉදිරිපත් කිරීම සමුළුවේ දී සිදු කෙරේ.

    මැලේසියානු අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රිඅ යාකොබ්, කාම්බෝජ අගමැති හන් සෙන්, සිංගප්පූරු අගමැති ලී සියෙන් ලුං, තායිලන්ත අගමැති ප්‍රසයුත් චාන් ඕ චා, ලාඕස ජනාධිපති තොන්ග්ලුන් සිසොලිත්, බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයිශංකර්, මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ් යන මහත්ම මහත්මීහු, විද්වත්හු සහ ප්‍රවීණයෝ සමුළුව අමතති.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 මැයි 2022 19:09

    Latest News