නාලක සිල්වාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

මාර් 08, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

    සැකකාර නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටින තම සේවාදායකයාගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීති විරෝධී බවයි.

    එහෙත් විනිසුරු මංජුල තිලකරත්න මහතා පෙන්වා දුන්නේ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සෑකකරුගේ ඇප ප්‍රතික්ෂේප කිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(2) වගන්තිය යටතේ සිදු කර ඇති බවයි.

    එම වගන්තිය යටතේ සැකකරුවකු නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරයාට බලයක් තිබෙන බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඔහු ගත් තීරණය දෝෂ සහගත නොවන බව ප්‍රකාශ කළේය.

    ඒ අනුව සැකකාර නාලක සිල්වා මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහාධිකරණ විනිසුරු තිලකරත්න මහතා සදහන් කළේය.

    Last modified on සිකුරාදා, 08 මාර්තු 2019 14:38

    Latest News