කාන්තා දින;ජනපති - අගමැතිගෙන් පණිවුඩ

මාර් 08, 2019

    සමාජය පවරන සාම්ප්‍රදායික භූමිකා අභිබවා, තමන්ට බොහෝ ඉහළ ස්ථාන කරා ගමන් කළ හැකි බව, නූතන කාන්තාව සනාථ කර ඇතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා නිකුත් කළ පණිවුඩයේ මේ බව සඳහන්. ලෝක දේශපාලනයේ ශ්‍රී ලංකාවේ නාමය සටහන්ව ඇත්තේ, පළමු අගමැතිනිය බිහි කළ රට ලෙසයි. බොහෝ ආසියාතික රටවලට පෙර ඡන්ද අයිතිය දිනාගත් ශ්‍රී ලංකාව, ලොව පළමු විධායක ජනාධිපතිනිය බිහි කිරීමේ ජගත් කීර්තිය අත්කර ගැනීමට ද සමත්ව තිබේ.

    ලෝකයට බලපෑම් කළ හැකි ස්ත්‍රීන් අතරට, ශ්‍රි ලාංකික කාන්තාවන් රැසක් ද එක්ව සිටියි. පිළිකා සෛල පාලනය සඳහා පර්යේෂණයක් කර, සාර්ථක ප්‍රතිඵල අත්කර ගත්තේ ශ්‍රී ලාංකික වෛද්‍යවරියක්. එවරස්ට් තරණය කර, අභියෝගාත්මක කාන්තාවන්ගේ ලේඛනයට ශ්‍රී ලාංකික කාන්තාවකගේ නම එක් කිරීමට ද හැකි විය. කාන්තාවට සම අයිතිවාසිකම් බුක්ති විඳීමට මෙරට සලසා ඇති නිදහස එම ප්‍රතිඵල අත්කර ගැනීමට හේතු වූ බව, ජනාධිපතිතුමා සිය කාන්තා දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.

    කාන්තාව, පවුල සහ සමාජයේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රට මුහුණ දුන් විවිධ සමාජ, දේශපාලන අර්බුද හමුවේ පෙරට ආ කාන්තාව වඩාත් නිර්භයව, ධෛර්ය සම්පන්නව කටයුතු කළ බව, අග්‍රාමාත්‍යතුමා සිය කාන්තා දින පණිවුඩයේ සඳහන් කර තිබේ. එමගින් අවධාරණය කර ඇත්තේ, සුහුරු කතක් - සොඳුරු ලොවක් තේමාවෙන් මෙවර කාන්තා දිනය සමරනු ලබන අප, වඩාත් යහපත් සමාජයක් උදෙසා කාන්තාවන්ගේ නිරන්තර කාර්යක්ෂම දායකත්වය අගයමින් සහ දිරි ගන්වමින් ඇගේ ඉදිරි ගමනට අත්වැලක්වීමට අදිටන් කරගත යුතු බවයි.

    Latest News