දේශබන්දු තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප

මැයි 19, 2022

    ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තුන් දෙනෙකු ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම සැකකරුවන්ට පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලීසිය විසින් ප්‍රමාණවත් සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කර නොමැති හෙයින් ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළා.

    මෙම සැකකරුවන් තුන්දෙනා අද හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළා.

    එහිදී සාක්ෂිකරුවන් විසින් සැකකරුවන් දෙදෙනෙකු හදුනා ගත් බව අධිකරණය හමුවේ අනාවරණය කෙරුණා.

    මෙම සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබූවොත් ඉදිරි විමර්ශනවලට බාධා සිදුවිය හැකි බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොල්ලුපිටිය පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා ගමන් කළ වාහනයකට මෙම සැකකරුවන් පහර දී අලාභ හානි සිදු කළ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා හදුනා ගැනීමේ පෙරෙට්ටුවේදී ඔවුන් පහර දුන් බවට හදුනාගෙන නොමැති බවත් සඳහන් කළා.

    ඒ අනුව අදාළ සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමට නියෝග කරන බව මහේස්ත්‍රාත්වරයා සදහන් කළා.

    Latest News