අගමැතිතුමා ඉල්ලා අස්විය යුතු නැතැයි පළාත් සභා මන්ත්‍රී සංසදය ඒකමතිකව තීන්දු කරයි‍

අප්‍රේ 26, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු නැති බව පළාත් සභා මන්ත්‍රී සංසදය අද (26) දින පෙරවරුවේ ඒකමතිකව යෝජනාවක් සම්මත කළේය.

    අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා පළාත් සභා මන්ත්‍රී සංසදය අතර අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවති රැස්වීමේ දී මෙම යෝජනා සම්මතයට එළැඹිණි. ඒ අනුව මෙම යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනුම් දීමට පළාත් සභා මන්ත්‍රී සංසදය මෙහිදී තීරණය කළේය.

    පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට ඉදිරියටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන්හ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම සහ ඡායාරූප යොදා ගනිමින් ජනතාව අතරට ගොස් පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රීවරුන් අගමැතිතුමාට විරුද්ධව ස්වාධීනවන්නේ නම් එය සදාචාර විරෝධී බවද පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයෝ කියා සිටියහ.

    69 ලක්ෂයේ බහුතර ජනතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ තවමත් සිටින බවත්, ඔවුන්ගේ නිශ්ශබ්දතාව හේතුවෙන් සුළුතර පිරිසකගේ විරෝධය සමාජ මාධ්‍ය සහ ප්‍රධාන පෙලේ මාධ්‍ය මඟින් අනිසි ප්‍රචාරයක් ලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් අදාළ සාමාජිකයෝ විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබූහ.

    මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන විරෝධය විරුද්ධ පක්ෂය සහ ආණ්ඩුවට විරුද්ධ විවිධ දේශපාලන සංවිධාන විසින් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව පොළඹවා ගනිමින් ක්‍රියාත්මක කරන්නක් බවද පෙන්වා දුන් අදාළ නියෝජිතයෝ මෙම විරෝධතාව තුළ අන්තවාදී බලවේග, දෙමළ ඩයස්පෝරාව සහ රට අරාජික කිරීමට බලා සිටින විදේශ බලවේග ක්‍රියාත්මක වන බව කියා සිටියහ.

    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් වසර 30ක් තිස්සේ මෙරට පැවති යුද්ධය නිමා කිරීමට නායකයත්වය දුන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා නොවන්නට අද පාරට බැස මෙවැනි විරෝධතාවල නිරත වීමට හැකි පරිසරයක් නිර්මාණය නොවන බව ද ඔවුහු සිහිපත් කළහ.

    මෙම අවස්ථාවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, පළාත් සභා මන්ත්‍රී සංසදයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News