DIG නාලකට එරෙහි සාක්ෂි ප්‍රමාණවත් - නීතිපති අධිකරණයට කියයි (වීඩියෝ)

මාර් 06, 2019

    හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දන්වා සිටියේය.

    ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතා මේ බව කියා සිටියේය.

    ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාලක සිල්වා මහතාට එරෙහිව ඇති සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරි දින ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    මෙතෙක් සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලිසිය කියා සිටියේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 21:02

    Latest News