කෝටි 500ක දියමන්තිය සොරාගත් සැකකරු අත්අඩංගුවට (වීඩියෝ)

මාර් 05, 2019

    පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකින් රුපියල් කෝටි 500ක දියමන්තිය සොරාගත් ප්‍රධාන සැකකරුගෙන් තවත් අපරාධ හා අවි ආයුධ පිළිබඳව තොරතුරු හෙළිවෙමින් ඇතැයි පොලිසිය පවසයි.

    සැකකරු ඊයේ රාත්‍රී 7.00ට පමණ කිරිබත්ගොඩ දී අත්අඩංගුවට ගනු ලැබුවේ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්.
    කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා නමැති 40 හැවිරිදි මේ තැනැත්තා අත්අඩංගුවට ගත් පසු ඔහු සැඟව සිටිමට භාවිත කළ නිවාස දෙකක් හා ඔහුගේ ඇල්පිටිය පිටිගල ප්‍රදේශයේ පිහිටි මුල් නිවස ඊයේ රාත්‍රියේම පරීක්‍ෂාවට ලක් කෙරිණ.
    එම ස්ථානවලින් සොයාගත් දියමන්තිය රුපියල් ලක්‍ෂ 150ක මුදල්, ජංගම දුරකතන, ජීව උණ්ඩ ඇතුළු විවිධ භාණඩ අද (05) දින පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ දී මාධ්‍යයට ඉදිරිපත් කෙරිණ.
    පානදුර, කෙසෙල්වත්ත, තක්සලා හරස් පාරේ ඔහු රැඳී සිටි කුලී නිවස පරීක්‍ෂා කිරීමේ දී එහි අල්මාරියක සඟවා තිබූ රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුතු දියමන්තිය සොයා ගෙන තිබේ. ඊට අමතරව, පවුම් 40ක පමණ ස්වර්ණාභරණ හා ජංගම දුරකතන 126ක් ද එම නිවසේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි. අනතුරුව මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි ඔහු සැඟවී සිටිමට යොදාගත් තවත් කුලී නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණ. එහිදී ටී-56 අවි සඳහා යොදා ගන්නා ජීව පතුරම් 47ක්, පොලිස් නිල ඇඳුම්, අත් බෝම්බයක් හා අත්විලංගු, සොයා ගැනීමට පොලිසිය සමත්විය. කැවුමා නමැති සැකකරුගේ මව රැඳී සිටි ඇල්පිටිය, පිටිගල, බොරලුහේන ප්‍රදේශයේ පිහිටි නිවස ද ඊයේ රාත්‍රීයේ පරීක්‍ෂාවට ලක් කෙරිණ.
    වළ දමා තිබූ රුපියල් ලක්‍ෂ 150ක මුදල එහිදී සොයාගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Latest News