මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නව ජාතික වැඩපිළිවෙළ හෙට (06) හඳුන්වා දෙනවා;ජනපති (වීඩියෝ)

මාර් 05, 2019

    මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙළ හෙට (06) රටට හඳුන්වා දෙන බව ජනාධිපතිතුමා පවසයි.

    හෙට පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දී එම වැඩපිළිවෙළ පිළිබඳ හඳුන්වාදීමක් සිදුකරන බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම භාවිතය වැළැක්වීම සඳහා විද්‍යාත්මක ක්‍රමෝපායන් යොදා ගැනීම පිළිබඳ අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති විද්වත් සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ රේගු, සුරාබදු, වෙරළාරක්ෂක යන සියලු ආයතනවල මනා සම්බන්ධීකරණයෙන් යුතු ව ක්‍රියාත්මක කරන එම නව වැඩපිළිවෙළ මඟින් මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේ වඩා අලුත් පියවර රටටත්, ජනතාවටත් දැක ගැනීමට හැකිවනු ඇති බවයි.

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අදාළ නීති රීති ක්‍රියාත්මක කිරීමේ දී මානව හිමිකම් පිළිබඳ කතාකරන ඇතැම් පිරිස් විසින් සිදුකරන බාධාවන් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රටක් යහපත් රටක් ලෙස ගොඩනැගීමට නම් ප්‍රතිපත්ති, දර්ශනයන් මෙන්ම දණ්ඩනය ද ක්‍රියාත්මක විය යුතු බවයි. විනය ගරුක සමාජයක් හා යහපත් සංස්කෘතියක් පිළිබඳ අපගේ ප්‍රෞඪ  ඉතිහාස කතාව ලියැවී ඇත්තේ අතීතයේ ද අධ්‍යාත්මික වටිනාකම් සමඟ දණ්ඩනය ද ක්‍රියාත්මක වූ නිසා බව ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    ග්‍රාමීය වශයෙන් ව්‍යාප්ත ව ඇති නීති විරෝධි මත්පැන් මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ලබන වෙසක් පොහොය දිනය වන විට ග්‍රාමීය වශයෙන් පවතින නීති විරෝධි මත්පැන් මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙළ අවසන් කළයුතු බවට පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේ ය.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා තම මඟපෙන්වීමෙන් ස්ථාපනය කෙරුණු විශේෂ අධිකාරියෙහි කටයුතු ද ඉදිරි මාස 03 තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම හා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුළුල්ව සමබරව සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව යොදාගැනීම පිළිබඳව මෙම විද්වත් සමුළුවේ දී පුළුල් වශයෙන් අවධානය යොමු කෙරේ.

    අද සහ හෙට දෙදින පැවැත්වෙන සමුළුව සඳහා විවිධ ක්ෂේත්‍රවල දෙස් විදෙස් ප්‍රවීණයින්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එක්ව සිටින අතර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සමුළුව සංවිධානය කර තිබේ. මෙහිදී ජනාධිපතිතුමා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේ මෙම සමුළුවේ දී ගන්නා සියලු තීන්දු තීරණ පිළිබඳ තමා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

    ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී විද්වතුන්ගේ, විශේෂඥයන්ගේ සහ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන්ගේ උපදෙස්, මගපෙන්වීම් සහ මාර්ගෝපදේශනයන් තම රජය ඉහළින් පිළිගන්නා අතර ඒවා ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. 

    මීතිරිගල නිස්සරණ ආරණ්‍යයේ ප්‍රධාන ධර්මාචාර්ය අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද ඇමතිණි තලතා අතුකෝරල, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන. පොලිස්පති පූජිත ජයසුන්දර, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

     

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 20:07

    Latest News