බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාට ඇප

මාර් 21, 2022
    බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විශ්‍රාමික වෛද්‍ය  ෂර්ලි හේරත් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.  
    සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් අද සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය සිදු කරනු ලැබීය. 
    මෙම ඇප ඉල්ලීම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.
    ඒ අනුව, නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම සැකකරු මුලින්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණත් මේ වන විට එම චෝදනා පවත්වා ගෙන නොයාමට පැමිණිල්ල තීරණය කර ඇති හෙයින් මෙම ඉල්ලීම මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.
    එමෙන්ම සැකකරුට එරෙහිව පීඩාකාරී ආයුධ පනත යටතේ චෝදනා පවත්වාගෙන යන එයින් මෙම ඇප ඉල්ලීම මහාධිකරණයට සලකා බැලීමට හැකියාවක් පවතින බවත් පෙත්සම්කාර සැකකරුගේ පාර්ශවය විසින් කරුණු දක්වා ඇතැයිද විනිසුරුවරයා සඳහන් කළේය.
    ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවටත් නියෝග කළේය.
    එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් නියෝග කළ  විනිසුරුවරයා මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 

    Latest News