158 වැනි පොලිස් විරු දිනය අද

මාර් 21, 2022

    158 වැනි පොලිස් විරු දිනය අදයි. රාජකාරියේ දී මිය ගිය පොලිස් විරුවන් සැමරීම ආරම්භ කෙරුණේ අදින් වසර 41කට ඉහත දී 1981 මාර්තු 21 වැනිදායි.

    1866 සැප්තැම්බර් 3 වැනිදා ව්‍යවස්ථාපිතව පිහිටු වන ලද ශ්‍රී ලංකා පොලීසිය, අනුස්මරණ දිනයක් නම් කරනු ලබන්නේ වසර 115කට පසුවයි. රාජකාරී අතරතුරදී ප්‍රථම වරට පොලිස් නිලධාරියෙකු මිය යන්නේ, 1864 මාර්තු 21 වැනිදායි.

    ඒ උතුවන්කන්දේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමට දැරූ ප්‍රයත්නයේ දී. සහාන් නමැති පොලිස් කොස්තාපල්වරයා එහිදී ජිවිතක්ෂයට පත්වුණා. පොලිස් සැමරුම් දිනය සඳහා යෝග්‍යතම දිනය මාර්තු 21 වශයෙන් යෝජනා කර ඇත්තේ, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති තිලක් ඉද්දමල්ගොඩ මහතා විසින්.

    ත්‍රස්තවාදී ක්‍රියා,අපරාධ,මත්ද්‍රව්‍ය,රිය අනතුරු සහ සමාජ දුසිරිත් මර්දනය කර,නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා රාජකාරී කිරීමේ දී මේ දක්වා පොලිස් නිලධාරීන් 3,143 දෙනෙක් දිවි පුදා තිබේ. යුද්ධය මියගිය 2,598 දෙනා හැර, නිලධාරීන් 545 දෙනෙකු මිය ගොස් ඇත්තේ දෛනික රාජකාරීවල යෙදී සිටියදී.

    යුද ගැටුම් හේතුවෙන් පොලිස් නිලධාරීන් 1,567 දෙනෙකු ආබාධිත තත්වයේ පසුවෙයි. 1988,1989 වසරවල පැවති කලහකාරී තත්වය හේතුවෙන් ද පොලිස් නිලධාරීන් රැසක් ඝාතනයට ලක්විය. එසේම, 1971 අප්‍රේල් කැරැල්ලේදී ද නිලධාරීන් 35 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

    Latest News