පාස්කු ප්‍රහාර සිද්ධියේ වින්දිතයන්ගේ වන්දි නඩු 109කට උත්තර දීමට දින දෙයි

මාර් 16, 2022

    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් හා සදාකාලික ආබාධිත වූවන් විසින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු 109 ක් සම්බන්ධයෙන් උත්තර ගොනු කිරීම සඳහා එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් වෙත කොළඹ දිසා අධිකරණය විසින් අවසන් වරට දිනයක් ලබා දුන්නා.

    මෙම නඩු අද කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    මෙම නඩුවට අදාල උත්තර අද දින ගොනු කිරීමට නියමිතව තිබුණද විත්තිකරුවන් විසින් ඒවා ගොනුකර තිබුණේ නැහැ.

    ඒ අනුව අදාල උත්තර මැයි මස 02 වන දා ගොණු කරන ලෙස දන්වමින් අතිරේක දිසා විනිසුරුවරිය විසින් අවසන් වරට වගඋත්තරකරුවන් වෙත දින ලබා දුන්නා.

    හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ,හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයා මෙම නඩුවල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබෙනවා.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් විත්තිකරුවන්ගෙන් වන්දි ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින් 109 ක් විසින් මෙම නඩු ගොනු කර තිබේ.

    Latest News