සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානයේ නව බුද්ධ ප්‍රතිමා වහන්සේට අගමැතිතුමා ප්‍රථම මල් පූජාව පවත්වයි...

මාර් 13, 2022

    කැලණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ අඩි 22ක් උසැති නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අද (13) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුවිය.

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් කුමාර මහතා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළේය. අනතුරුව අගමැතිතුමා විසින් නව බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳහා ප්‍රථම මල් පූජාව පවත්වන ලදි. කැලණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේගේ (කොටුවේ පොඩි හාමුදුරුවො) 50වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම පිංකම් මාලාව සංවිධානය කර තිබිණි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහි දී කැලණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිවන රණවිරු මහ සෑ ගර්භයේ තැන්පත් කිරීම සඳහා රන් ආලේපිත කරඬුවක් පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර ස්වාමීන් වහන්සේට පූජා කළේය. මෙම බෞද්ධ මධ්‍යස්ථානය ඉදි කිරීමට දායකවූවන් සඳහා අගමැතිතුමාගේ සුරතින් “සමාජ සේවා අභිමානී” ගෞරව ප්‍රණාමය ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

    කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි වැඩම කර සිටියහ. කැලණිමුල්ල සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානයේ දායක සභාවේ මහත්ම මහත්මීහු ඇතුළු බැතිමත්හු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 13 මාර්තු 2022 17:54

    Latest News