මාර්තු 31 දක්වා වීදි ලාම්පු අක්‍රීය කිරීමට උපදෙස්

මාර් 07, 2022

    මාර්තු 31 වෙනිදා දක්වා දිවයිනේ සියලු වීථි ලාම්පු අක්‍රිය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.



    සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ කණ්ඩායම් නායකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ වීථි ලාම්පු අක්‍රිය කිරීමට අමතරව දෛනික ජීවිතයට අවම බලපෑමක් වන පරිදි විදුලිය ඉතිරි කරගත හැකි විකල්ප මාර්ග හැකිතාක් ක්‍රියාවට නංවන ලෙසයි.

    රටේ සමස්ථ විදුලි උත්පාදනයෙන් සියයට 30ක දායකත්වය සපයන ජල විදුලි බලාගාර පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මුළුමනින්ම අක්‍රීය තත්ත්වයට පත්ව ඇත

    එම අඩුව පිරවීම සඳහා විකල්පය ලෙස භාවිතා කිරීමට සිදු වන්නේ ඩීසල් සහ දැවි තෙල් බලාගාර මගින් විදුලි උත්පාදනය කර ජාතික පද්ධතියට එකතු කිරීමයි.

    එම බලාගාර මඟින් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා ඉතා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවේ. මේ මොහොත වන විට ලෝක වෙළඳපළේ තෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර ආර්ථික විද්‍යාඥයින්ගේ පුරෝකතනය වන්නේ තෙල් මිල තවදුරටත් අඛණ්ඩව ඉහළ යා හැකි බවයි.

    අභ්‍යන්තර වශයෙන් රටේ ඩොලර් සංචිතය තාමත් සීමාසහිත මට්ටමක පැවතීම නිසා තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී තිබේ.

    මෙම තත්ත්වය කළමනාකරණය කිරීමේ ප්‍රමුඛ විකල්පය වන්නේ කිසියම් ප්‍රමුඛතා පදනමක් මත අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කිරීමයි.

    එකී ආදර්ශය සමාජගත කරමින් විදුලිය පිරිමැසීම සඳහා ලබන 31 වෙනිදා දක්වා සියලු වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍යවරයා සිය නිවේදනයෙන් සියලු පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    Street_lamps.jpg

     

    Last modified on සදුදා, 07 මාර්තු 2022 16:23

    Latest News