ජනපති ඝාතන කුමන්ත්‍රණයේ සැඟවුණු රහස

ඔක් 28, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය පිටුපස එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ඇතුලු පිරිසක් සිටින බව හෙළි වී තිබේ.

    ඒ සම්බන්ධව නාමල් කුමාර සහ ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී මෙම දේශපාලන පෙරළිය සිදු කිරීමට ද ප්‍රධාන හේතුවක් වූයේ, මෙම ඝාතන කුමන්ත්‍රණයයි.

    නාමල් කුමාර මීට මාස එකහමාරකට පමණ පෙර ජනාධිපතිතුමා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු හෙළි කළේ, මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්.

    එහිදී ඔහු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයක් ඉදිරිපත් කිරීමත් සමඟ ඒ පිළිබඳ අවධානය යොමු විය.

    ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළ ද, එය ක්‍රියාත්මක වූයේ මන්දගාමීවයි. අදාළ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට අවස්ථා කිහිපයකදීම යෝජනා වුවත්, එක්සත් ජාතික පක්‍ෂයේ ඇතැම් පිරිස් කියා සිටියේ, එම පරීක්‍ෂණ පොලිස්පතිවරයාට බාරදිය යුතු බවයි.

    පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ දෝෂදර්ශනයට ලක්විය. ඒ, ඔහුද විවිධ ප්‍රකාශ කරමින් පරීක්‍ෂණ ඉතා මන්දගාමීව ක්‍රියාත්මක කිරීම හේතුවෙන්.

    අවසානයේ, ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණ. මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගෙන ඇති අතර, පරීක්‍ෂණවලදී අදාළ ඝාතන කුමන්ත්‍රණය හෙළි කෙරෙන තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

    තත්වය එසේ තිබියදී ඝාතන කුමන්ත්‍රණය හෙළි කළ නාමල් කුමාර පසුගියදා තවත් මාධ්‍ය හමුවක් පැවැත්විය. ඔහු පසුගිය දිනවල දිගින් දිගටම ඉල්ලා සිටියේ, තමාට ජනාධිපතිතුමා පෞද්ගලිකව හමුවීමේ අවශ්‍යතාවක් පවතින බවයි.

    මෙවැනි කුමන්ත්‍රණකාරී සිදුවීම් සමඟ පසුගිය වසර තුනක කාලය පුරා ජාතික ආණ්ඩුව අසීරුවෙන් පවත්වා ගෙන යාම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද පසුගියදා අදහස් පළ කළේය.

    එම ඝාතන කුමන්ත්‍රණය පිටුපස ආණ්ඩුව නියෝජනය කළ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සිටි බවට තොරතුරු හෙළිවෙමින් පවතින අවස්ථාවක, එක්සත් ජාතික පක්‍ෂය ඒ සම්බන්ධව මුණිවත රැකීම දැඩි අවදානම් සහගත තත්වයක් නිර්මාණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයන් කියා සිටියේය.

    එවැනි තත්වයක් හමුවේ ජනාධිපතිතුමාට දේශපාලන වශයෙන් බරපතල තීන්දුවක් ගැනීමට සිදුවූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ. ජනාධිපතිතුමා එම තීරණය ගන්නා තත්වයට පත් කළේ ද එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ඇතුලු ගජමිතුරු කල්ලිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    Last modified on ඉරිදා, 28 ඔක්තෝබර් 2018 19:02

    Latest News