වත්මන් රජයේ පළමු සෝර්ජාන් වගා ව්‍යාපෘතිය කිරිබත්ගොඩ දී

දෙසැ 21, 2021

    වත්මන් රජය යටතේ ඉදි කරන ලද පළමු ආදර්ශ සෝර්ජාන් ව්‍යාපෘතිය අද දින (21) කිරිබත්ගොඩ ඇවිදින මංතීරුව අසළ දී ආරම්භ විය.



    පරිසර අමාත්‍යාංශයේ භූමි සංරක්ෂණ ව්‍යාපෘතිය හා කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ගංවතුර නිසා වගා කළ නොහැකි හා ලවණතාවය ඉහළ යාම නිසා වගා කළ නොහැකි ඉඩම් මෙම සෝර්ජාන් ක්‍රමය යටතේ ඵලදායීව වගා කිරීම ඉළක්ක කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

    දැනට අප රටේ වගා නොකළ පුරන් කුඹුරු බිම් විශාල ප්‍රමාණයක් තිබේ. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තු සංඛ්‍යා දත්ත අනුව 2018 වර්ෂය වන විට මුළු දිවයින පුරා කුඹුරු හෙක්ටෙයාර් 40,356 ක් අත්හැර දමා තිබූ අතර බස්නාහිර පලාතේ පමණක් කුඹුරු ඉඩම් හෙක්ටයාර 12000 වගාවෙන් ඉවත්වී ඇත. මේ සඳහා විවිධ භෞතික සහ සමාජීය සාධක බලපා ඇත. කුඹුරු අත්හැරීම හේතුවෙන් එම ඉඩම් වල ඇකේෂියා වල් ආතා වැනි ශෘඛ ව්‍යාප්තවීම නිසා හායනයට ලක්වෙමින් පවතී.

    2021 වසරේ දෙසැම්බර් 05 දිනට යෙදී තිබුනු ලෝක පාංශු දිනය ඉළක්ක කර ගනිමින් මෙම සෝර්ජාන් ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර මෙවර එම දිනයේ තේමාව වුයේ ද “ලවණතාවය අඩු කිරීම තුළින් භූමි ඵලදායිතාවය ඉහල නංවමු” යන්නයි.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගි වූ අතර ප්‍රසන්න රණවීර හා ලසන්ත අලගියවන්න අමාත්‍යවරු ද මීට සහභාගි වූහ. එමෙන්ම කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරිහු රැසක් සහභාගි වූහ.

    දැනට මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති රුපියල් ලක්ෂ 25ක මුදලට අමතරව සමස්ත කුඹුරු යාය ම වගා කිරීම සඳහා අවශ්‍ය මුදල් පරිසර අමාත්‍යාංශය විසින් ලබා දෙන බව පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.
    කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිරිබත්ගොඩ ඇවිදින මංතීරුව ආශ්‍රිත වසර 40 ක් පමණ වගා නොකළ තලවතුහේන්පිට උතුර කුඹුරු යායෙහි අක්කර 4ක භූමි භාගයක් යොදාගනිමින් මෙම ආදර්ශණ ස්ථානයක් ස්ථාපනය කිරිම අද ඇරඹිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ලබන වසරේ විශාල සාගතයකට මුහුණ දීමට රටට සිදුවිය හැකි බවයි. එමනිසා ඊට රජය වශයෙන් මුහුණ දීම සඳහා ඊයේ (20) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී වගා සංග්‍රාමයක් දියත් කිරීම යෝජනා කරමින් තමන් ජනාධිපතිතුමන්ට අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා ඉහළ ධනාත්මක ප්‍රතිචාරයක් දැක් වු බවත් එතුමා විසින් පත් කරන ලද හරිත ආර්ථීකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වශයෙන් තමන් ලබන වසරේ දී වගා සංග්‍රාමයක් දියත් කිරීම සඳහා ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

    වත්මන් පොහොර ගැටළුව, ගංවතුර නිසා සිදු වුනු වගා බිම් පාළුවීම් මෙන්ම ලෝක ආහාර අර්බුදය නිසා මෙන්ම ආහාර මිල දී ගැනීමට බල පා ඇති ඩොලර් හිඟකම හේතුවෙන් ලබන වසරේ දී අපිට සාගතයකට මුහුණ දෙන්න සිදුවන බව විශේෂඥයින් ප්‍රකාශ කර තිබෙනවා. එමනිසා රජය විසින් සියුල අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, පළාත් සභා, ප්‍රා දේශීය සභා එක්ව ගොවි ජනතාවගේ පූර්ණ දායකත්වය යොදා ගනිමින් දැවැන්ත වගා සංග්‍රාමයකට යා යුතුයි. එමෙන්ම මේ සඳහා පාර්ලිමේන්තුවේ සියලු විපක්ෂ කණ්ඩායම්වලත් සහයෝගය ලබා ගත යුතුයි.

    ඊට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශය මම ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම ස්ථානය අවට මී පැළ රෝපණය කිරීමද සිදු විය.

    Latest News