නවම් පුර පසළොස්වක පොහොය "අමාදම් සිසිලස"

පෙබ 16, 2022

    සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 219 වැන්න නවම් පුර පසළොස්වක පොහොය යෙදෙන අද (16) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.


    බුදුන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා ධර්ම දේශනාව සඳහා වැඩම කළ මහව, ඉපලෝගම ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ගෞරවාර්හ මොරගොල්ලාගම උපරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළේය.
    ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයෙන් ඇරඹි අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පොහෝ දිනකම පවත්වන්නට යෙදීම අගයමින් එහි වටිනාකම සහ වැදගත්කම දේශකයාණන් වහන්සේ පෙන්වා දුන්හ.
    නවම් පුර පසළොස්වක පොහොය දිනයේ ශාසනික වැදගත්කම පෙන්වා දුන් දේශකයාණන් වහන්සේ ධර්ම දේශණය සඳහා මාතෘකාව කරගනු ලැබුවේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, සංයුත්ත නිකායේ, සගාථා වග්ගයේ, කෝසල සංයුත්තයට අයත් පබ්බතූපම සූත්‍රයේ ගාථා පාඨයකි.
    ‘‘අපේ රටෙත් මහා ශාපලත් යුද්ධයක් අවුරුදු තිස් ගානකට වඩා තිබුණා. එදා අපේ ජනාධිපතිතුමා, වත්මන් අග්‍රාමාත්‍ය අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ මේ රටේ සියලුම හමුදාවන් සම්බන්ධ කරගෙන මේ රටේ සියලුම ජනතාවගේ ආශිර්වාදය මත තමයි එදා ඒ මහා යුද්ධය කළේ. හැබැයි ඒ කරපු යුද්ධය කොසොල් රජ්ජුරුවෝ කලා වගේ සමූල ඝාතනයක් නෙමෙයි. අන්ධ වනේට ගිහිල්ලා සතුරන් ජීවග්‍රහනයෙන් අල්ලාගෙන උල තියල ඝාතනය කලා වගේ කියාවක් මේ යුද්ධයේදී සිද්ධ වුණේ නැහැ. ඉතාමත්ම හොඳට තෝරා බේරාගෙන මිනිස්සුන්ව ආරක්ෂා කරගෙන එතුමා මේ සටනමෙහෙයවූවා මානුෂික යුද්ධයක් හැටියට. අපි හැම කෙනෙක්ම ඒවා සිහිපත් කරන්නේ කෘතවේදීත්වයෙන් යුක්තව කෙළෙහිගුණ සැළකීමක් හැටියට. මේ ජනතාව මේ රටේ ඉන්න පිරිස අද වගේ මේ වගේ පුර පසළොස්වක පොහොය දවසක මේ විදිහට නිදහසේ බණ අහන්නේ මේ රටේ ගමන් බිමන් යන්නේ

    එදා ඒ අසහාය නායකත්වයෙන් යුක්තව කටයුතු කරපු අපේ ඒ ජනාධිපතිතුමන් නිසා’’ යැයි දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවේ දී පෙන්වා දුන්හ.
    ධර්ම දේශනාව අවසානයේ දී දේශකයාණන් වහන්සේට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය අෂ්ඨපරිෂ්කාර සහ පිරිකර පූජා කළේය.
    සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඇතුළු කලාකරුවන්, හෙද නිලධාරීන්, පෙර පාසල් පාලිකාවන් සහ පාසල් සිසුන් පිරිසක් ද එක්ව සිටියහ.
    කොන්ෆියුසියස් දර්ශනයේ මූල ග්‍රන්ථයක් වන "LUNYA THE ANALECTS OF CONFUCIUS" හී සිංහල පරිවර්ථනය වන "කොන්ෆියුසියස්ගේ ආදරය" ග්‍රන්ථයේ මුල්පිටපත එහි පරිවර්ථක ICBN CAMPUS හී චීන භාෂා අධ්‍යන අංශයේ කථිකාචාර්ය හා අංශාධිපති චීන භාෂා සංස්කෘතික මධ්‍යස්ථානයේ සභාපති ශ්‍රාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය සඳමඩුල්ලේ සුමනසාර ස්වාමීන්වහන්සේ විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ධර්මදේශනාව අවසානයේදී පිළිගන්වනු ලැබූහ.
    මෙම අවස්ථාවට කොළඹ නාරාහේන්පිට ශ්‍රී හත්බෝධි විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය ගලගම ධම්මරංසි ස්වාමීන්වහන්සේ සහ චීනයේ භාෂා හා සංස්කෘතික විශ්ව විද්‍යාලයේ උපාධිධාරී රංග මැතිව් වීරරත්ත මහතා සහභාගිවී සිටියහ.

    Latest News