පළාත් 4කට අද තද වැසි - අවවාදාත්මක නිවේදනයක්

පෙබ 14, 2022

    පළාත් හතරකට තද වැසි ඇතිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද යන පළාත්වලට මෙන්ම කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලටත් මිලි මීටර් 100 ඉක්මවූ තදවැසි අද (14 ) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

    රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්‍ත්‍රික්කවලත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවේ.

    ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

    ඊයේ (13) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ආශ්‍රිත ප්‍රදේශයෙන් වාර්තාවී ඇත. එම ප්‍රදේශයට මිලි මීටර් 186ක වර්ෂාපතනයක් ලැබී තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු සියලුම ප්‍රදේශවලින් වර්ෂා තත්ත්වයන් වාර්තා වී තිබිණි.

    වාරි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඩී. අබේසිරිවර්ධන පැවසීය.

    ඊයේ (13) පෙරවරුවෙන් අවසන් වූ පැය 24ක කාලය තුළදී අනුරාධපුර, හුරුළු වැව, පදවිය හා යාන් ඔය යන ප්‍රදේශවලට මිලි මීටර් 50 දක්වා වර්ෂාපතනයක් ලැබි තිබේ. නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට මිලි මීටර් 60 සිට 80 දක්වා වර්ෂාපතනයක් ලැබී ඇත.

    Latest News