රැඳවුම් භාරයේ සිටි දේවස්ථාන සේවකයා මුදාහරී

පෙබ 09, 2022

    බොරැල්ල, සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත්කර සිටි එම දේවස්ථානයේ සේවකයෙකු වන සෙල්වදුරේ ෆ්‍රැන්සිස් මුනීන්ද්‍රන් නැමැත්තා මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේය.

    මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාල උදෘත කැඳවා නීතිපතිවරයා විසින් පරික්ෂා කළ බවත් එහිදී අදාළ සැකකරුට එරෙහිව අපරාධ චෝදනාවක් අනාවරණය නොවූ බවත් සඳහන් කළේය.  

    ඒ අනුව මෙම සැකකරුට එරෙහිව තවදුරටත් නීති මගින් ක්‍රියා කිරීමට අපේක්ෂා නොකරන හෙයින් ඔහු මුදා හරින ලෙසද ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    එම ඉල්ලීම  පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අදාළ සැකකරු මුදාහරින ලෙස නියෝග කළේය.
    මෙම අවස්ථාවේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ අදාල දේවස්ථානයේ පියතුමන්ලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම දේවස්ථානයට සම්බන්ධ සේවකයින් මුදා හැරීමට කටයුතු කිරීම පිළිබඳව තමන් ස්තුතිවන්ත වන බව පැවසීය.
    මෙම ජීව අත්බෝම්බය දේවස්ථානයේ සේවකයින් විසින් තැබූ බවට මුලින්ම ජනමාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වී තිබුණත් ඒවායේ නිර්දෝෂීභාවය දැන් තහවුරු වී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා දේවස්ථානය තුළ බෝම්බයක් තැබීමට කතෝලික සභාවට හෝ කාදිනල්තුමන්ට අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන්නේය.
    මෙම අත්බෝම්බය තබා තිබුණේ කොළඹ අගරදගුරුතුමන් ජීවත්වන ප්‍රදේශයට ආසන්න ස්ථානයක බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය දැඩි සැකයට තුඩු දෙන අනතුරුදායක තත්ත්වයක් බවත් එම බෝම්බය තැබූ පුද්ගලයා හා ඔහුගේ පසුපස සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කිරීම අවශ්‍ය බවත් අවධාරණය කළේය.
    ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය ආරම්භයේ දී අප්‍රසන්න කාරණා කීපයක් මතුව තිබුනත් නීතිපතිවරයා ඊට මැදිහත් වීමෙන් පසුව එම විමර්ශන කටයුතු සාමාන්‍ය තත්ත්වයකින් සිදු වන බව පෙන්වා දුන්නේය. 
    දේවස්ථානයේ සේවකයින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම අවස්ථාවේ මතු වූ සාධාරණ සැකයන් මත බවත් පසුව ඔවුන් ඊට සම්බන්ධ නොවන බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් මුදා හැරීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.  

    Latest News